Friday, November 12, 2010

පැට්‍රොමැක්ස් ලාම්පුවේ පැලපීය.....!

මේ සිද්ධිය වුණේ ජනූ නිවාඩවට අම්මයි තාත්තයි කට්ටියම එක්ක.... මතක හැටියට සිංහල අවුරුද්දට... අම්මලගෙ ගමේ ගිය දවසක. එහෙ කන්ද උඩ ගෙදරට කරන්ට් තිබුණෙ නෑනෙ. ඉතිං වෙනදට කුප්පි ලාම්පු පත්තු කරන ආච්චිඅම්මයි, ආතයි, ලොකු මාමයි එදා අපි  හිටපු නිසා පැට්‍රොමැක්ස් ලාම්පුව පත්තු කරන්න තීරණය කළා. මේ ලාම්පු ගැන දන්නවනෙ ඔයාල.... දැන් කාලෙත් ඔය කරන්ට් ගියාම මළගෙවල්වල එහෙම පත්තු කරන දීප්තිමත් එලියක් විහි‍දෙන ලාම්පුව. ඒවගෙ තියෙන්නෙ මැන්ටල් එකක් නෙ.... ඒක මුලින්ම නම් තියෙන්නෙ නූල්වලින් හදපු නෙට් එකක් වගේ. මේක එක දවසක් පත්තු කලාම පැල පීයක් වගේ තිබ්බට අලු ගොඩක් නෙ. හැබැයි  පරිස්සමෙන් අරන් තිබ්බොත් ආයෙමත් සෑහෙන දවසක් ඒක පත්තු කරන්න පුලුවන්. ගමේ ගෙදර පැට්‍රොමැක්ස් එකත් සැරයක් පත්තු කරල පරිස්සමින් අරන් තියල තිබුණ නිසා මැන්ටල් එක හොදට තිබුණා... ඔන්න ඉතිං ලොකුමාමත් කන්ද බැහැල ඔරුවෙන් එගොඩ ගියා ඔන්න ලාම්පු තෙල් ගේන්න. ඒ අතරෙ තාත්ත ලාම්පුව ගෙදර ඉස්තෝප්පුවට ගත්ත පත්තු කරන්න ලේසි වෙන්න කියල.
අපේ කතා නායිකාවටත් ඉතිං ඒ කාලෙ එපා දෙයක් නෑ ලු ඔන්න. එයත් හිමින් හිමින් කිට්ටු කළා ඔතෙන්ට.
මෙයාට හරිම විස්මයක් දැන් මේක පත්තු කරන්නෙ කොහොමද කියල...

තාත්තෙ.... ඉතිං කොහොමද තාත්තේ මේක පත්තු වෙන්නෙ......?
තාත්තෙ.... ඔය පැලපීයක් වගේ තියෙන්නෙ මොකක්ද තාත්තෙ....?
 හරි ප්‍රශ්න වැලයි දැන්
තාත්තත් වැඩේ ගැන තියෙන උනන්දුව නිසා
 දැන් මාම ආවාම තෙල් දාල පත්තු කරනවනෙ.... එතකොටම බලා ගන්ඩකො
වාගෙ කෙටි කෙටි උත්තර දුන්න මිසක් වෙනද ඔය වගේ වැඩක් කරනකොට වගේ හරි හමන් විදියකට "අවවාදයයි" කියල යමක් සඳහන් කළෙත් නෑ නෙව......
දැන් මෙයාගෙ කුතුහලය වැඩි කමට මෙයා පැට්‍රොමැක්ස් එකට හොඳටම කිට්ටු බිට්ටු වෙලයි ඉන්නෙ ඔන්න.
 තාත්ත පොඩ්ඩකට නැගිට්ටෙ මාම එනවද කියල බලන්ඩ ගෙදර මිදුලෙ බැම්ම ළඟට යන්ඩ.‍
ඒ අල්ල පනල්ලෙ ගෑනිට උදාවුණා අවස්ථාව පුල පුලා කෙළ හල හලා බලාසිටි පැටෙ‍්‍රාමැක්ස් ලාම්පුවේ මැන්ටලය අල්ලා බලන්න.

අනේ පැලපීයක් වා.......ගේ.....!


මම මැන්ටලේ ඇල්ලුවෙත්, තාත්ත හැරිල බැලුවෙත් එකටමයි

හුටා..... කොළා නේද මේකි යස වැඩක්.... ඇල්ලුව නේද මැන්ටලේ....?
දැන් ඉතින් ආයෙ කවුරුහරි පලයංකො මැන්ටල් ගේන්ඩ

මැන්ටලේ අලුටික විතරක් මගෙ අතේ....... හපොයි වෙච්ච දෙයක්!

 තාත්තගෙ සද්දෙට ගෙදර කොයි කවුරුත් ඉස්තෝප්පුවට සේන්දු වුණා
විලි ලැජ්ජහේ  බෑනෙ ඉතිං.....

පුදුම දාංගලයක්නෙ හැබෑට මේ ඩාංඩිඟිසියට තියෙන්නෙ

ඒ පාර අම්මත් පටන් ගත්තෙ දෙහි කැපිල්ල ජයටම...



ඉතිං තාත්තෙ මං තාත්තගෙන් ඇහුවෙ ඒකනෙ ඒක මොකක්ද කියල?
තාත්ත උත්තර දුන්නෙ නෑනෙ.....

ඔලොක්කු හිනා හඬ මැද්දෙ එක්කෙනෙක්ට දැන් ඇඬුම් එන්න ඔන්න මෙන්න ලු.
කවුදෝ එක්කෙනෙක් අතේ ගඟ ළඟට පණිවිඩයක් යවල එහා ඉවුරෙන්ම ලොකු මාමව ආයෙත් මැන්ටල් ගේන්ඩ කඩේ පිටත් කිරීමෙන් ඔන්න ජනූ එයාගේ මැන්ටල් හටන නිමා කළා.

11 comments:

  1. මටත් ප්‍රශ්න වැලයි.. වැලයි කිව්වට එකම එකයි.. පැලපීය කියන්නෙ මොකද්ද? අදමයි ඇහුවේ :( (මැන්ටලේ වගේ එකක් කියලනම් කියන්න එපා.. lol )
    සාස්තරයක් කියන්නද? දුර බැහැරක ගොස් සිටි බොහෝ හිතවත් පුද්ගලයෙක් ආපහු ඇවිත් තියන බව පෙන්නුම් කරනවා.

    ReplyDelete
  2. දිනුක,
    පැලපීය කියල අපේ පලාතෙ කියන්නෙ පොල් ගෙඩිය පැල වෙන්න එද්දි ඇතුලෙ හැදෙන මදයට. පැළ මදේ කියලත් කියනව.
    නැත නැත තොප වැරදිය
    දුරු රට ගිය ඇත්තන් තවම මෙරටට ආවේ නැත.
    මේ මා මගේ ඥානය පාචිච්චි කොට පෑ දස්කම් ය.

    ReplyDelete
  3. හි හි.. මාත් පොඩිකාලෙ අපේ ගෑස් ලාම්පුවක මැන්ටලේ අල්ලලා හොඳවයින් අහගෙන තියේ :D

    ReplyDelete
  4. හා... ඔය තියෙන්නෙ කාගෙ කාගෙ මලුවලත් හුණු පොඩිත්ත පොඩිත්ත. කට්ටිය එකතු‍ වෙලා මට විතරක් හිනා වෙලා තිබුණොත් ඕං මං නොකීවයි කියන්ඩ එපා :-D

    ReplyDelete
  5. ane ooon man nan hina une ne....

    ReplyDelete
  6. හිටපන් මම අල්ලගන්නම් උඹව නංගියෙ.
    දෙසැම්බර් නිවාඩුවට එයිනෙ අපේ ගෙදර....

    ReplyDelete
  7. ඇයි වදේ මං මොනා කලාටද ??? අහිංසක එකී මම.....

    ReplyDelete
  8. හපොයි.......... මැන්ටලේද, මතක් කරන්න එපා ඔය මළඉලව්ව

    ReplyDelete
  9. හා හැමෝටම වගේ තියෙන්නෙ ඔය එක එක කතා......

    ReplyDelete
  10. ජනූට තිබ්බ දාංගලේ හැටියට ඔය මැන්ටලේ පැලපීයක් කියලා හිතලා කන්න ලැහැත්ති උනේ නැති එක නම් හොදා. හි... හි... හි... ජනූ තාමත් ඔහොම වැඩ කරනවද ?

    ReplyDelete
  11. හි හි හි කන්න තමයි ගියේ.ඒත් ඒක අතට ගන්ඩ කලින්ම කුඩේ කුඩු නෙ...

    ReplyDelete