Thursday, November 18, 2010

බුදු සාදු.....!

මේ සිද්ධිය  වුණේ ජනූයි, කිරි අම්මයි, අම්මයි තුන්දෙනා පෝයට පන්සල් ගිහින්.
 අම්ම ජනූට මොන්ටිසෝරි යන්නත් කලින්ම සිදුහත් කුමාරයගෙ කතාව කියල තියනව.
ඉතින් එයා දන්නව සිදුහත් කුමාරය බුදු සාදු වුණ හැටි, රාහුල කුමාරයව දාල  කන්ථක අශ්වයගෙ පිටේ ගිය හැටි සේරම කතා ටික. බුදු සාදු ගැන ලස්සන කවිත් දන්නව

බුදු සාදු ඉපදුනා
කෙලෙස් නසා බුදු වුණා
පිරිනිවනට පත් වුණා 
මේ වෙසක් දිනේ

හඳ මාමා හිනැහිලා
තරු සමගින් එක් වෙලා
පෝය දාට බුදු සාදුට 
එලිය ගෙනෙනවා

චූටි චූටි වට්ටිවලට
පාට පාට මල් අරගෙන
හඳ එලියේ නැහැවි නැහැවි
පන්සල් යනවා

මේ කවි, කතා අහල ජනූ ට ඕනෙ වුණා...ඇත්තටම බුදු සාදු බලන්න.... අම්ම නම් කිව්වෙ ආයෙමත් ඇත්තටම බුදු සාදුව බලන්න ගොඩාක් කල් ඉන්න ඕනෙ කියලයි. එතකල් අපිට බුදුසාදු ව දකින්න හම්බවෙන්නෙ පිළිමවලින් විතරයි ලු. 
ඒ වුණාට ජනූට නම් හොඳටම විස්වාසයි පෝය දවසට පන්සලේදි බුදු සාදුව පණ පිටින්ම දැකල කියෙන බව.  මේ අම්ම නෙ කිව්වට පිළිගන්නෙම නැත්තෙ...
 ඔන්න ඉතිං එදා පෝය දවසෙත් වෙනද වගේම සිල් ගත්තු කිරි අම්ම සිල් පවාරණය කරන කිට්ටුව එයාව එක්ක එන්නයි , පන්සල් යන්නයි දෙකටම තමයි ජනුයි, අම්මයි පන්සලට ගියේ.

පන්සලට ගොඩ වෙච්ච වෙලේ ඉඳලම ජනූ නම් හරිම විමසිල්ලෙන් හිටියෙ....

ඔන්න තුන්  දෙනා ගිහින් පන්සලේ මල් පහන් පූජා කරල , බෝ මලුවෙ ඉඳගෙන ගාතා කියල පින් අනුමෝදන් කරල එනකොට මෙන්න බොලේ බුදු සාදු වැඩ ඉන්නව... කහ පාට සිවුරක් පොරවගෙන.... යන එන සැදැහැවතුන් දිහා බලාගෙන....

අම්මෙ .......අම්මේ අන්න අන්න බුදු සාදු ඉන්නව අර අරඅඅඅඅඅඅ......

අම්මගෙ අතේ එල්ලි එල්ලි ඒ දිහාවට අත දික් කර කර ජනූ කෑගැහුවෙ  පුදුම සන්තෝසෙන්

දැක්කද අම්මෙ බුදුසාදු ඉන්නව... අම්ම බොරු නෙ කිවුවෙ.....

ආයෙ නෑ පන්සලේ ගණ්ටා කුලුණ පරාදයි සද්දෙ ටික නං අපරාදෙ කියන්ඩ බෑ ඒ කාලෙත්.....
අම්ම බොහොම අසාර්ථක උත්සාහයක නිරත වුණා අතින් ජනූ ගෙ කට වහන්න.

මොකක්ද බබෝ.... අම්ම කියපු බොරුව.... ?

මෙන්න ඒ පාර බුදු සාදු ජනූගෙ ළඟටම වැඩම කරල

වඳින්න වඳින්න

ජනූ බුදුසාදුට වැන්ද බිම පෙරළිලා දණ ගහලම

ඉතිං ඉතිං බබෝ.... මොකක්ද අම්ම කියපු බොරුව ආ.....?

වැඳල නැගිට්ටම බුදු සාදු ආයෙත් ඇහුව ජනූගෙන්

අම්ම කිව්ව බුදු සාදු නෑ කියල...

ඉතිං.....?

ඉතිං බුදු සාදු ඔය ඉන්නෙ.....?
කෝ.....?
ඇයි ඔය සාදු බුදු සාදු නෙ....

ඒ පාර බුදු සාදුට හිනාවක් ගියා....

මම බුදු සාදු නෙවෙයි බබෝ... මම වෙන සාදු කෙනෙක්....

ජනූට නම් තාමත් ඒක විස්වාස නැති හැඩක් තමයි මූණෙ ඇඳුන අවිනිශ්චිත බැල්මන් සාදුට තේරුණේ

 බුදු සාදු පිරිනිවන් වැඩියනෙ බබෝ....

ඒ කියන්නෙ මොකක්ද?
බුදු සාදු මැරුණනෙ.....

ජනූ පොඩි කල්පනාවක

එතකොට..... රාහුල කුමාරයට තාත්තෙක් නැත්ද?

 ඔන්න සාදුටත් කට උත්තර නැති වුණා ....

නෑ නෙ..... රාහුල කුමාරයත් ඊට පස්සෙ අපි වගේ මහණ වුණා නෙ.. අම්මගෙන් අහගන්ඩකො බබා ඒ කතාව
ටික වෙලාවකට පස්සෙ සාදු මෙහෙම කියල එ තනින් හෙමිහිට ඉවතට වැඩිය මද සිනා මුවින්

ගෙදර එනකල් ඇවිත් රෑට නින්ද යනකල්.... සති දෙක තුනක් ගිහින් අමතක වෙලා යනකල්ම එයා සිදුහත් කතාවෙ එයාට නොතේරෙන තැන් ගැන අම්මගෙන් ප්‍රශ්න ඇහුව.
ජනූ සැහෙන්න ලොකු කාලෙ එයාගෙ තාත්ත නැති දුක දැනෙන්න වුණාමත් එයා හිත හදා ගන්න උත්සාහකළා සිදුහත් කතාවෙ රාහුල කුමාරයට තාත්ත ජීවත්ව ඉන්න කොටත් තාත්තෙක් නැති වුණාම මොන තරම් දුකක් හිතෙන්න ඇතිද කියල....

Saturday, November 13, 2010

සුදු බල්ලා....!

අනේ මන්ද..... දවස ගානෙ එක එක කියලත් කවද ඉවර කරන්ඩද කියල මේ ළමයගෙ කතාව.
ඕං අදත් එහෙනං කියවල බලන්ඩකෝ මේ ලමය අම්මගෙයි තාත්තගෙයි පටි රෝල් කරල කියෙන හැටි. මතකනෙ ගමේ ගිහින් පැ‍ට්‍රොමැක්ස් එකේ පැලපීය අල්ලල වෙච්ච සංගදිය.

මේක වුණෙත් ජනූ එයාගෙ අම්මලගෙ ගමේ යද්දිම තමයි. 
වංගු හරව හරව, කඳු නැග නැග, බස් පහක විතර යන මේ ගමනෙදි ජනූට ලොකු හෝටලයක් නම් වරදින්නෙම නෑ. අම්මයි තාත්තයි ඉතිං නොසෑහෙන්න වද විඳිනව මේ වැඩෙන්. 
මේක වුණේ පුංචිම කාලෙ ජනූලෙ මල්ලි වඩාගෙන අම්මයි තාත්තයි ජනූ බබයි ගමේ ගිය දවසක.
ජනූ ගෙ තාත්ත ඉතිං එයාගෙ පැටවු දෙන්නට හරි ආදරෙයිනෙ පස්සෙ කාලෙක එයාලව දාල ආයෙ කවදාවත්ම නොඑන්නම යන්න ගියාට . තාත්ත ඒකාලෙ ආදරේට ජනූටයි එයාගෙ පුංචි මල්ලි බබාටයි "බලු පැටවු" කියනවනෙ
කෝ .. මේ මගෙ ලොකු බල්ලයි පොඩි බල්ලයි.... කොහෙද ඉන්නෙ.....?
ආ... මේ ඉන්නෙ....නැගිටපියෝ නැගිටපියෝ.....
වැඩ ඇරිල ගෙදර ආව තාත්ත මල්ලියවයි එයාවයි හොයනව ජනූ ළමයට තාමත් මතකයි....
 ඔන්න ඉතිං මේක වෙද්දි තාත්තයි අම්මයි සීට් එකක ඉඳගෙන මල්ලි බබාව ඔඩොක්කුවෙ නිදිකරගෙනලු හිටියෙ.
සීට් එක අතරෙ හිටගෙන මහ හයියෙන් බස් එක දෙවනත් වෙන්ඩ සින්දු කිය කියා හිටියලු අපේ ජනූ ලමය...

 මගෙ ආවා අලිම තුදුයි
පුලුං බෝ.....ලයක් වාගෙයි
පා...නුත් කා...ලා 
කී.....ලිත් බී.....ලා
තික තික ඔඳ වැඩ පුලුදු කලනකොත
ඔඳටම ඔඳ වෙනවා.....!

ඔන්න එක පාරටම තාලෙ වෙනස්වෙනව.

අම්බිලි මාමේ..... ඔබ මොකද කලන්නේ
පුලුන් වලා යටින් ඉඳන් 
එබිල බලන්නෙ....
එබිල බලල තුදු ආවව
අලගෙන යන්නේ....!

දන්න සින්දු ඔක්කොම කලවම් කරල එයාම කරපු නව නිර්මාණ තමයි ඔය වගේ ගමන් යද්දි ජනූ ළමය කියන්නෙත්. මේ සින්දු කෑලි මතක් කරල දෙන්නෙ ජනූ ළමයගෙ සංගීත ගුරුතුමී අම්ම තමයි. 

 ඔහොම සින්දු කියන කොට බස්එකේ ඉන්න වැඩි දෙනා ඉන්නෙ මෙයා ගැන හරිම අවධානෙන් නෙ.
  ඉතින් මේ කට්ටිය හොරෙන්හොරෙන් හිනා වෙනවලු මේ කියන සින්දුවලට....
මෙහෙම සින්දු කිය කියා ඉන්න ගමන් ජනූ ලමයට එක පාරටම එයාගෙ මලය ගැන හරිම ආදරයක් හිතුනලු
ඉතිං එයා මල්ලි දිහාට නැමිල

ආ...... මගෙ සුදු බල්ලෝ...... කියල මල්ලිව ඉම්බලු

බස් එකේ කට්ටිය වහලෙ ගැලවෙන්ඩ හිනා වුණාලු. අම්මයි තාත්තයි කර කියාගන්ඩ දෙයක් නැතිව බිම බලාගෙන හිටියලු ඉතිං
හත් වලාමෙ වෙච්චි දේට මක්කොරන්ඩද....?

Friday, November 12, 2010

පැට්‍රොමැක්ස් ලාම්පුවේ පැලපීය.....!

මේ සිද්ධිය වුණේ ජනූ නිවාඩවට අම්මයි තාත්තයි කට්ටියම එක්ක.... මතක හැටියට සිංහල අවුරුද්දට... අම්මලගෙ ගමේ ගිය දවසක. එහෙ කන්ද උඩ ගෙදරට කරන්ට් තිබුණෙ නෑනෙ. ඉතිං වෙනදට කුප්පි ලාම්පු පත්තු කරන ආච්චිඅම්මයි, ආතයි, ලොකු මාමයි එදා අපි  හිටපු නිසා පැට්‍රොමැක්ස් ලාම්පුව පත්තු කරන්න තීරණය කළා. මේ ලාම්පු ගැන දන්නවනෙ ඔයාල.... දැන් කාලෙත් ඔය කරන්ට් ගියාම මළගෙවල්වල එහෙම පත්තු කරන දීප්තිමත් එලියක් විහි‍දෙන ලාම්පුව. ඒවගෙ තියෙන්නෙ මැන්ටල් එකක් නෙ.... ඒක මුලින්ම නම් තියෙන්නෙ නූල්වලින් හදපු නෙට් එකක් වගේ. මේක එක දවසක් පත්තු කලාම පැල පීයක් වගේ තිබ්බට අලු ගොඩක් නෙ. හැබැයි  පරිස්සමෙන් අරන් තිබ්බොත් ආයෙමත් සෑහෙන දවසක් ඒක පත්තු කරන්න පුලුවන්. ගමේ ගෙදර පැට්‍රොමැක්ස් එකත් සැරයක් පත්තු කරල පරිස්සමින් අරන් තියල තිබුණ නිසා මැන්ටල් එක හොදට තිබුණා... ඔන්න ඉතිං ලොකුමාමත් කන්ද බැහැල ඔරුවෙන් එගොඩ ගියා ඔන්න ලාම්පු තෙල් ගේන්න. ඒ අතරෙ තාත්ත ලාම්පුව ගෙදර ඉස්තෝප්පුවට ගත්ත පත්තු කරන්න ලේසි වෙන්න කියල.
අපේ කතා නායිකාවටත් ඉතිං ඒ කාලෙ එපා දෙයක් නෑ ලු ඔන්න. එයත් හිමින් හිමින් කිට්ටු කළා ඔතෙන්ට.
මෙයාට හරිම විස්මයක් දැන් මේක පත්තු කරන්නෙ කොහොමද කියල...

තාත්තෙ.... ඉතිං කොහොමද තාත්තේ මේක පත්තු වෙන්නෙ......?
තාත්තෙ.... ඔය පැලපීයක් වගේ තියෙන්නෙ මොකක්ද තාත්තෙ....?
 හරි ප්‍රශ්න වැලයි දැන්
තාත්තත් වැඩේ ගැන තියෙන උනන්දුව නිසා
 දැන් මාම ආවාම තෙල් දාල පත්තු කරනවනෙ.... එතකොටම බලා ගන්ඩකො
වාගෙ කෙටි කෙටි උත්තර දුන්න මිසක් වෙනද ඔය වගේ වැඩක් කරනකොට වගේ හරි හමන් විදියකට "අවවාදයයි" කියල යමක් සඳහන් කළෙත් නෑ නෙව......
දැන් මෙයාගෙ කුතුහලය වැඩි කමට මෙයා පැට්‍රොමැක්ස් එකට හොඳටම කිට්ටු බිට්ටු වෙලයි ඉන්නෙ ඔන්න.
 තාත්ත පොඩ්ඩකට නැගිට්ටෙ මාම එනවද කියල බලන්ඩ ගෙදර මිදුලෙ බැම්ම ළඟට යන්ඩ.‍
ඒ අල්ල පනල්ලෙ ගෑනිට උදාවුණා අවස්ථාව පුල පුලා කෙළ හල හලා බලාසිටි පැටෙ‍්‍රාමැක්ස් ලාම්පුවේ මැන්ටලය අල්ලා බලන්න.

අනේ පැලපීයක් වා.......ගේ.....!


මම මැන්ටලේ ඇල්ලුවෙත්, තාත්ත හැරිල බැලුවෙත් එකටමයි

හුටා..... කොළා නේද මේකි යස වැඩක්.... ඇල්ලුව නේද මැන්ටලේ....?
දැන් ඉතින් ආයෙ කවුරුහරි පලයංකො මැන්ටල් ගේන්ඩ

මැන්ටලේ අලුටික විතරක් මගෙ අතේ....... හපොයි වෙච්ච දෙයක්!

 තාත්තගෙ සද්දෙට ගෙදර කොයි කවුරුත් ඉස්තෝප්පුවට සේන්දු වුණා
විලි ලැජ්ජහේ  බෑනෙ ඉතිං.....

පුදුම දාංගලයක්නෙ හැබෑට මේ ඩාංඩිඟිසියට තියෙන්නෙ

ඒ පාර අම්මත් පටන් ගත්තෙ දෙහි කැපිල්ල ජයටම...



ඉතිං තාත්තෙ මං තාත්තගෙන් ඇහුවෙ ඒකනෙ ඒක මොකක්ද කියල?
තාත්ත උත්තර දුන්නෙ නෑනෙ.....

ඔලොක්කු හිනා හඬ මැද්දෙ එක්කෙනෙක්ට දැන් ඇඬුම් එන්න ඔන්න මෙන්න ලු.
කවුදෝ එක්කෙනෙක් අතේ ගඟ ළඟට පණිවිඩයක් යවල එහා ඉවුරෙන්ම ලොකු මාමව ආයෙත් මැන්ටල් ගේන්ඩ කඩේ පිටත් කිරීමෙන් ඔන්න ජනූ එයාගේ මැන්ටල් හටන නිමා කළා.

Thursday, November 11, 2010

එදා රෑ තමයි රෑ.....

 කොන්සට් එක ඉවර වුණා.....රෑ වෙලා තිබුණු හින්ද කට්ටිය සේරම විසිර ගියා හරියට මීයට පිම්බ වගේ.... කොන්සට් එක වෙලාවෙ පෙන්නපු එක එක නාට්ටි, සින්දුවලට සැරෙන් සැරේ හිත ගියා තමයි. ඒත් ජනූ ළමයගෙ හිත ගිහින් තිබුණ එක දේකට. ඒක ලබා ගන්න නම් කොන්සට් එක ඉවර වෙනකල්ම ඉන්න ඕනෙ විත්තියත් එයා දැනගෙන හිටිය පුංචි කමට. කොන්සට් එක ඉවර වෙනකල් ඒකට මුල් තැන අරන් කටයුතු කරපු සංගීත ගුරුතුමී වෙච්ච අම්ම ළගට වෙලා හොද ළමය වගේ හිටපු ජනූ, වැඩේ ඉවර වෙලා අස්පස් කරන, ළමයි ගෙවල්වලට යන්න පිටත් කරන වැඩවලට කලබලෙන් හිටපු අම්ම ලගින් හෙමින් සැරේ ලිස්සල ගියා කොන්සට් එක තිබුණු මේන් හෝල් එක ඇතුළට..... දුවගෙන දුවගෙන ගියා. මෙච්චර වෙලා බලන් හිටියෙ මේ වෙලාව එනකල් නෙ... ස්ටේජ් එක දෙපැත්තෙ ඕලු මල් පුරවල තියල තිබුණු කළගෙඩි දෙක කාටත් අමතක වෙලා වගේ..... මල් හතයි.......!!!
ජනූට නියම පල්ලම... සතු ඉහ වහා ගිහින්.....
ඔක්කෝම ඕලු මල් ටික එකතු කරගෙන හෝල් එකේ බිම වාඩි වුණා.
හෝල් එකේ කාත් කවුරුවත් නෑ..... තට්ට තනියම..... වෙනද නම් කලුවර වෙනකොටත් බය ජනූට අද නම් බය තියන්නෙ මොකද්ද කියල වත් නොදැණෙන ගානයි. ගෑනි ටිකක් වෙලා කල්පනා කළා මොකක් ද මල් ටිකත් එක්ක කරන සෙල්ලම කියල...
ඔන්න මතක් වුණා සින්දුවක් අම්ම කියල දුන්න ...!

ඕලු පිපීලා විල ලෙල දෙනවා සුදට සුදේ නංගෝ
ඕලු නෙළාලා මාල ගොතාලා පළදිමු අපි මා...ලා
එන්න දියේ බැස මා... හා..... ගන්...


දඩා.....ස්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ගෑණි බය වුණා. සද්දෙ ආවෙ ඇරල තිබුණ දොර දිහාවෙන්. ගෑනි  හැරිල බලනකොට මේන් හෝල් එකේ ඇරල තිබුණ එකම දොරත් කවුරුහරි වහල....එකත් එකටම දසනායක මාම ඇතුලෙ කවුරුත් නෑ කියල හිතල දොර වහන්න ඇති.....! ගෑණි රොකට් එකක් වගේ දිව්ව දොර ළගට....

දඩ බඩ දඩ බඩ දඩ බඩ ....

අනේ.....!!! ඇහෙනතෙක් මානෙ මිනිස් පුලුටක් හිටියෙ නෑ. පුංචි ජනූ ජීවිතේ කවදාවත් බයවෙලා නෑ ඒ තරම්.


දසනායක මාමේ.......!
අනේ මාව මේක ඇතුලෙ හිරවෙලෝ......!
අම්මේ.......!
අම්මේ................................!!!!
අනේ අම්මේ..........................!!!!!!!!!!!

හපොයි හපොයි....ගෑනිමහ හයියෙන් විලාප දීල ඇඩුව දොරට ගහ ගහ.
සෑහෙන වෙලාවකට පස්සෙ වැඩ සේරම ඉවර වෙලා ගෙදර යන්ඩ ජනූව හොයපු අම්ම නොසෑහෙන්න  කළබල ‍වෙලා දසනායක මාමයි, තව කවුදෝ ඉස්කෝලෙ මාමලයි එක්ක හැමතැනම හොයල අන්තිම මේන් හෝල් එක දිහාට ආවාම යාන්තමට වගේ අඩන සද්දයක් ඇහිල හෝල් එක ඇරල බැලුවෙ නැත්නං ජනූට මුලු රෑම ඉන්ඩ වෙන්නෙ හෝල් එකේ තනියම......මාමල හිටිය හින්ද ජනූ ගුටියක් නොකා බේරුණා....යා.....න්තං ඇති.

ජනූගෙ කතන්ද‍රේ ඇරඹෙන වගයි

ඔන්න එකෝමත් එක රටක හිටියලු ජනූ කියල පුංචි ගෑනු ළමයෙක්. මේ ළමය‍ට අම්ම දීල තියෙන නම් නම් හරීම දිගයි. කෝච්චියක් වගේ
මෙයා කොච්චර නම් හරීම අහිංසක සුවච කීකරු ළමයෙක් ද කියල ඔයාලට තේරෙයි දිගටම මේ පැත්තෙ ආවොත් නම්. බ්ලොග් එකක් පිරෙන්න දේවල් මට ලියන්න තියෙනව ඒ ළමය ගැන

එහෙනං ඕං අවසර ආයුබෝං ලියන්ඩ