Friday, June 20, 2014

මල්ලි බබාගෙ බයිසිකල් වික්‍රමය..!!






සුදු පුතා... මොනවද ඔය කරන්නෙ.. අනුංගෙ බයිසිකල්වල වඩුකං නෑ ඔයාට.. මෙහෙ එන්ඩ.. ඇඟ හෝදවන්ඩ.

ඉස‍්කෝලෙ ඇරිල ආව ගමන් ජනූ බබාගෙ සුදු ගවුමයි මල්ලිබබාගෙ ඇඳුම් ටිකයි තව දවස ගා‍නෙ එකතු වෙන අනිත් ඇඳුම් කන්දයි අරන් මිදුලෙ ලිඳ ලඟට එන ගමන් අම්ම මල්ලි බබාට සැර දැම්ම. 

ඔය කාලෙ වෙද්දි මල්ලි බබා චූටිම චූටියි ඉතිං.. මොන්ටිසෝරියෙ.. ජනූ බබා නං  දෙක වසරෙද කොහෙද.
ඉස්කෝලෙ ඇරිල අම්ම  එක්ක ගෙදර ආව ගමන් මල්ලි බබා කරන්නෙ ඇඳුං සේරම ගලවල දා‍ල පිලිකන්නට දුවන එක තමයි.

ඇයි දන්නවද? 

අපේ ගෙදර තියෙන්නෙ පාර අයිනෙනෙ.. ඉතිං ගම ඇතුළෙ ඉඳල පාරට එන කට්ටිය පාර එයාලගෙ බයිසිකල් සේරම අපේ ගෙයි පිලිකන්නෙ බිත්තියට හේත්තු කරල තමයි ගමන යන්නෙ. උදේට ඉස්කෝලෙ යන ළමයි, කොළඹ වැඩට යන මාමල .. 

කොහොම හරි බයිසිකල් හතරක් පහක් ජනූ බබාලගෙ බිත්තිය අයිනෙ හේත්තුව දාගෙන ඉන්නව හැමදාම... 

අම්ම කොච්චර එපා කිව්වත් මල්ලිබබා උණ බම්බු කඩුල්ලෙන් උඩිං පැනල ඉස්සෙල්ලාම යන්නෙ පිලිකන්නට.. ගිහින් බලන්නෙ බයිසිකල් කීයක් නවත්තලද කියල තමයි.

හතරක් පහක් නවත්තල තියෙනව කියන්නෙ ඉතිං මල්ලි බබාට අවුරුදු ලැබුව වගේ තමයි.. 

ඉතිං මොන්ටිසෝරි යන චූටි මල්ලි බබාට මොකද්ද මේ බයිසිකල් එක්ක තියෙන ගනුදෙනුව??

නෑ නෑ.. එයාට පුලුවනෑ ඔය ලොකු බයිසිකල් පදින්ඩ.. කොටිංම එයාට සපෝටර් හයිකරල තිබුණ ජනූගෙ චොපර් බයික් එකට නැගගන්නවත් බෑ ඒ කාලෙ.. ජනූ තමයි මල්ලි  බබාව උස්සල ඒකෙ තියල එයාව පද්දවන්නෙ ..

එයාට ඒ කාලෙ තිබුණෙ චූටි ට්‍රයිසිකලයක්.. අර හැන්ඩ්ල් එක කෙළවරේ ඉටි රැල් එල්ලෙන ට්‍රයිසිකලයක්..
එයා අර පිලිකන්නට යන්නෙ අර නවත්තල යන බයිසිකල්වල පැඩ්ල් කරකවන්ඩ..

ඔය සමහර බයිසිකල්වල චේන් එක හරි තදයි..ඉතිං  පැඩ්ල් කැරකෙන්නෙ නෑ ලේසියෙන්..
අනික චූටි මල්ලි බබාට හයිය තියෙනවද ඕව කරකවන්ඩ..?  

සමහර වෙලාවට ජනූ බබාට හිනත් යනව මල්ලි බබා දත්මිටි කාගෙන තොල් විකාගෙන, කෙඳිරි ගාගෙන අර බයිසිකලේ එක අතකින් අල්ලගෙන පැඩ්ල් එක අනිත් අතින් කරකවන හැටි දැක්කම.. 

ඊට පස්සෙ හැන්දෑවට නිදාගන්න ගියාම එයාට ලෙඩ තියෙනව මුලු සරුවාංගෙම. 

පුතාගෙ චූටි කකු‍ල රිදෙනව, පුතාගෙ චූටි අත රිදෙනව... මේ.. පුතාගෙ චූටි ඇඟිල්ල මොකෙද්ද කාල!!
ඔන්න ඔහොම තමයි එයා  එයාගෙ ලෙඩ අම්මට රිපෝට් කරන්නෙ

අම්මත් ඉතිං කෝ බලන්ඩ සුදු පුතාගෙ චූටි අත කියල ලෙඩ බලනව..

ජනු බබාට ඉතිං සමහර වෙලාවට ඉරිසියත් එක්කල.. 

ඉතිං කො‍හොම හරි දැං ජනූ ළමය කියාගෙන ආවෙ ඒ කතාව නෙවෙයිනෙ..

ඔන්න දැං මේ කියන දවසෙත් අම්ම ඇඟ හෝදන්න කතා කරන එක නෑහෙන ගාණට මල්ලි බබා ඉන්නව. 

වෙලාවට එයාට අද හම්බෙලා තියෙන බයිසිකලේ පැඩ්ල් එක කැරකෙනව නිකං කිසි කිසි ගාල...
මෙයත් දාගෙන කරකවනව...අර හුළඟට කැරකෙන පොල්කොළ බඹරෙ වගේ!

ජනූ අම්ම රෙදි ටික හෝදන්ඩ කලින් ජනූට පුරවල දුන්න වතුර බේසමෙන් ඇඟ හෝදගෙන ගවුමක් දාගත්ත. 

මල්ලිව හෝදවන්ඩ එක්ක එන්ඩ පුතේ..

අම්ම රෙදිවල සබන් ගගා බේරමට පුරවන ගමන් ජනූට කිව්ව.

සමහර දාට ඉතිං අම්ම රෙදි හෝදන අතරෙ ජනූ මල්ලි බබාව හෝදවනව.. හැබැයි ඒකට මල්ලි බබා එච්චර කැමති නෑ.. 

අම්මට උදව් වෙන්න කොච්චර ආස වුණත් මල්ලි බබාව නාවන්න ජනූ බබා ආසත් නෑ.. ඇයි බැරි වෙලාවත් එයාගෙ ඇස්වල සබං චුට්ටක් හරි ගෑවුනොත්  එහෙම විලාප තියනවනෙ  මුලු ගමටම ඇහෙන ගානට..

ඉතිං අම්මට රෙදි ගොඩාරියක් හෝදන්න තියෙද්දි අම්මට මල්ලි බබාව හෝදවල දෙනව කියන්නෙත් ලොකු උදව්වක් නෙ..  ඒ හන්ද ජනූ ගියා මල්ලි බබාව එක්කන් එන්න

එන්ඩ යන්ඩ  ඔයාගෙ ඇඟ හෝදවන්න.. ජනූ කතා කළා

බෑ..

මල්ලි බබා ජනූ දිහාට හැරෙන්නෙත් නැතුව තනි වචනෙන් උත්තර දුන්න. එයා පැඩ්ල් එක කරකවන අත නං තප්පරේකට නැවතුනේ නෑ 

අන්න..... අම්ම එන්න කිව්ව ඔයාට ඇඟ හෝදවන්න...

මං ආයෙත් කතා කළා.. 

බෑ කිව්වනෙ..  ඒ පාර මල්ලි බබා ජනූ දිහාට හැරිලම සැර දැම්ම..

අපෝ මෙයාගෙ ගණන්!! හැටි විතරක් හෙලුකොට්ටගෙ.... 

ජනූ බබාට ඉතිං තරහ ගිය පාර මොනවත් කිව්වෙ නැති වුණාට හිතුණෙ නං එහෙම තමයි ඔන්න.

අම්මේ......... මෙන්න මල්ලි එන්න බෑ කියනෝ!!! ජනූ බබා ඉතිං අන්තිම තුරුම්පු කොලේ විසි කළා...

හා බැයි නං ඉන්ඩ දෙන්ඩ පුතේ.. මං මේ ටික ඉවර වුණාම එයාව හෝදවන්නං.. 

ඒ පාර ජනූ ආපහු ඇවිල්ල අම්ම අතුල්ලල දෙන රෙදි ටික හෙමින් සැරේ වතුර බේසමේ එබුව.. 

ජනූ බබා ඉතිං ලිං බැම්ම තරං වත් උස නෑනෙ  ඒ කාලෙ..  ඒ හන්ද වතුර ඇදල දෙන්න  විදියක් නෑ අම්මට. 

ඉතිං පන්තියෙ වෙච්ච දේවල් කිය කියා ජනූ අම්මට පුලුවන් විදියට උදව් කළා රෙදි හෝදන වැඩේට.. 

ආච්චි අම්මත් තිප්පපොත්තෙ ගිහින් හන්ද ගෙදර පාලුයි.. 

අත්තත් පල්ලෙහා ඇත්තෙ වැටවල් හදන්න ගිහින්.. තාත්ත එද්දි ඉතිං රෑ වෙනවනෙ.. 

පුතේ මල්ලිව සැරෙන් සැරේ බලන්ඩ.. මක් කරනවද දන්නෙ නෑනෙ..

අම්ම ජනූව සැරෙන් සැරේ යැව්ව මල්ලි බබාගෙ වැඩ සත පහකට විස්වාස නැති හන්ද..  

ඒ යන යන සැරේට මල්ලි බබා ඉන්නව ඉතිං අර බයිසිකල්වල තියෙන ග්‍රීස් මජං නාගෙන..

ඒ මදිවට ජනූ එයාව විපරම් කරන්ඩ ආව කියල දන්න හන්දම විරිත්තනව එයා දැක්ක ගමන්

බැරිම තැන ඉතිං ජනුත් විරිත්තල ආපහු ආව අම්ම ලඟට

අන්න ඉන්නව බයිසිකලේ කරකව කරකව

හා.... අන්න අර බාල්දිය මෙහෙට කිට්ටු කරන්ඩ චූටි පුතා!!

අම්ම හදන්නෙ අන්තිම සැරේට රෙදි ටික හෝදන්ඩයි. 

අම්මේ!!!


අනේ අම්මේ!!!


අම්මේ!!!

එතකොටම ඇහුන මල්ලි බබා කෑ ගහන සද්දෙ....!!

ජනූ බබාවයි අම්මවයි දෙන්නවම ඇණ තියාගෙන හිටි තැනින් නැගිට්ටු‍නේ එක පාරට
දෙන්නම දුවගෙන ගියේ මල්ලි බබා හිටිය තැනට

බැලින්නං මල්ලි බබා කරකව කරකව හිටිය බයිසිකලේ මල්ලි බබාගෙ ඇඟ උඩට වැටිල..
මල්ලි බබා හූ තියනව!! 

අම්ම එක පාරට බයිසිකලේ කෙලින් කරන්ඩ යනකොටයි ජනූ බබා දැක්කෙ මල්ලි බබාගෙ අතක ඇඟිලි හතරක්ම  බයිසිකලේ චේන්  එකටයි දැති රෝදෙටයි හිරවෙලා කියල..

අම්මේ ... මල්ලිගෙ අත!!!

ජනූ බබාට කෑගැස්සුනා!!

ඒක දැක්කාම නං අම්මට සිහියක් නැති වුණා. දෙතුන් පාරක් දැති රෝදෙ කරකවල බැලුවත් මල්ලි බබා කෑ ගහන හන්ද අම්මට ඒ වෙලාවෙ කරන්නෙ මොනවද කියල හිතාගන්නවත් බැරිවුණ පාර බයිසිකලේ අල්ලගෙන කෑ ගැහුව වත්ත පහල හිටිය අත්තට ඇහෙන්ඩ මහ හයියෙන්

අනේ තාත්තේ!! ඉක්මණට එන්ඩකෝ කියල!!

අත්තේ අත්‍‍තේ!! මල්ලිගෙ අත බයිසිකලේට හිරවෙලා!! ඉක්මණට එන්ඩෝ!!!!

ජනූ බබත් කෑ ගැහුව. කෑ ගහගෙනම වත්ත පහලට දිව්ව අත්තව එක්කන් එන්න...

අම්මගෙ සද්දෙට එන්ඩ හැරුණු අත්තව මගදි හම්බෙලා ජනූ කියපු කතාවට අත්තගෙ ඇස් උඩ ගියා..

ඒ පාර ජනුවත් මග දාල අත්ත දුවගෙන ගියා ගෙයි පිලිකන්නට..

ජනූ බබත් පස්සෙන් දිව්වා!

අනේ තාත්තේ පුතාගෙ අත හිර වෙලා‍නෙ ‍මේ දැති රෝදෙ අස්සෙ.... අනේ මොකද්ද අපි කරන්නෙ??
 
අත්තව දැක්ක ගමන් අම්ම බයෙන් කෑ ගැහුව.. අම්මගෙ ඇස්වලිනුත් කඳුලු ගලනව හෝගාල..


කලබල වෙන්ඩ එපා කලබල වෙන්ඩ එපා .. කියල අත්ත බයිසිකලේ පාමුල ඇණ තියාගත්ත.


මල්ලි බබා දිගටම ඇඬුව.. කඳුලු බේරුණා එයාගෙ මජං ගෑවිලා කලු වෙච්ච කම්මුල් දිගේ!!
  

අනේ එයාගෙ චූටි ඇඟිලි දැති රෝදෙටයි චේන් එකටයි දෙකට හිර වෙලා චප්ප වෙලා ඇති කියල හිතට ආවාම ජනූ බබාට කලන්තෙ වගේ දැණුන...

මල්ලි බබාගෙ අත ගිලගත්ත දැති රෝදෙ හරියට යකෙක් වගේ..!! කුණු දූවිලි ගෑවිලා කලු පාට වෙච්ච යකෙක් වගේ තමයි ජනූට පෙණුනෙ!!


මගෙ පුතා අඬන්නෙ නැතුව ඉන්නකො චුට්ටක්!!

අම්ම බයිසිකලේ අල්ලගෙනම මල්ලිබබාව සනසන්න හැදුව...

අත්ත පොඩ්ඩක් චේන් එකට තට්ටුවක් දාල බැලුව.. රෝදෙ කැරකෙන අත බැලුව..

ඊට පස්සෙ මල්ලි බබාගෙ අත අල්ලගෙන අත්ත කළේ හෙමින් සැරේ චේන්  එක දිගෑරෙන විදියට අනික් පැත්තට පැඩ්ල් එක කරකවපු එකයි. මල්ලි බබා චුට්ටක් කෑ ගැහුව නං තමයි.. 

ඒත් ඉක්මණටම අත දැති රෝදෙන් ගැලවුණා..

අම්ම බයිසිකලේ බිත්තිය පැත්තට තල්ලු කරල මල්ලි බබාගෙ අත බැලුව..

රතු වෙලා තැලිල මිසක් චූටි ඇඟිලි හන්ද මොනවත් වැඩි කරදරයක් වෙලා නෑ...

රෙදි ටික එහෙමම තියෙද්දි වතුර එකක් උණු කරපු අම්ම මල්ලි බබාගෙ අත තෙමෙන්නෙ නැතුව එයාව හෝදවල තැලිච්ච අතේ බෙහෙත් තෙල් ගාල අතගෑව..

මල්ලි බබා බය වෙච්ච පාර වැඩි කතා බහකුත් නෑ..ඉක්මණට බත් කාල අතේ අමාරුවටම වෙන්ඩ ඇති තාත්ත එනකල් හිටියෙත් නෑ.. නින්දත් ගියා..

හොඳ වෙලාවට වැඩි වෙලාවක් අත ඇතුළට යන්ඩ කැරකිලා නැත්තෙ.... නැත්තං එහෙම ආපහු කරකවල ගන්නකොට ඇඟිලි ටික තව තව තැලෙනවනෙ...

තාත්ත ආවාම අත්ත විස්තරේ කිව්වාම ජනූ බබා ගෙ ඇඟ සීතල වෙලා ගියා. අනේ මල්ලි බබාගෙ ඇඟිලිවලට මොනව හරි වුණා නං!!

කොච්චර රණ්ඩු වුණත් මල්ලි බබාගෙ අත බයිසිකලේට අහුවුණ එක ගැන ජනූ බබාට හරි දුකයි..!!

ඒ විතරක් නෙවෙයි..එයාට අර බයිසිකලේ බූ ඇපල් ගහ ලඟ පල්ලමට ඇ‍දගෙන ගිහින් දාන්න තරම් හිතුණ..

ජනූ හෙමින් සැරේ කාමරේට ගිහින් නිදාගෙන ඉන්න මල්ලි බබාගෙ තැලිච්ච අත හෙමීන් අත ගෑව.

එයා හීනෙන්ම කෙඳිරි ගගා පොඩ්ඩක් හිනා වෙනව දැක්කාම තමයි ජනූගෙ හිත හරි ගියේ ඉතිං..

පොඩිබල්ල යන්නෙ එහෙම නෑ මිං මනත බයිසිකල් කරකවන්ඩ...ආයෙ මට අහුවුනොත් නං මං දෙනව හොඳ පාරක්!

තාත්ත කෝ‍ටු හාමි පෙන්නල මල්ලි බබාව හොඳටම බය කරල එයාගෙ බයිසිකල් කැරකැවිල්ලට තහංචි දැම්ම.


ඔන්න ජනූගෙ මල්ලි බබාගෙ වැඩ...!!!

කාලෙකින් ජනූ බබා ආව.. 

කතාවක් අරං එන්න නං ගොඩාක් කල් ගියා තමයි.. 

ඒත් ඉතිං සමා වෙලා කතාව කියෙව්වට බොහොම ස්තූතියි!!

මල්ලි බබාගෙ පින්තූරෙ හම්බ වුණේ මෙන්න මෙතනින්