Friday, January 21, 2011

මල්ලි බබාගෙ මවුපියො කෑම.....!


ඔයාල දන්නවනේ අපේ ජනූ ළමය ඉස්කෝලෙ යන්ඩ පටන් ගත්ත කියල. හා හා පුරා කියල ඉස්කෝලෙ ගිහින් දීපු ඉදල් පාර ගැනත් දන්නව ඇති නෙ. ඉතිං ජනූ ළමය ඉස්කෝලෙ යන්න පටන් අරන් ටික දවසකින් ජනූගෙ මල්ලි බබත් මොන්ටිසෝරි යන්ඩ පටන් ගත්ත. මල්ලි බබා ඉතිං පොඩි කාලෙ හරිම අඬන බබා...! කොයි වෙලෙත් නළාව පිඹගත්තු ගමන්. හැන්දෑ වෙච්ච ගමන් එයාගෙ බෙයා කෙනෙක් ඇප්ලික් කරපු කොට්ටෙයි පොරවන රෙද්දයි තුරුල් කරන් අම්ම වටේ කැරකෙනව.

අම්මෙ.. යංකො දොයියන්ඩ... අනේ අම්මෙ යංකො දොයියන්ඩ...

ඒ මදිවට රෑට හීනෙන් ඇහැරිලා අඩනව...

අක්ක මගෙ කරවල කෑල්ල කෑවා.............
අක්ක මගෙ චොකෝ කෑවා..... කියල.

මේ වෙලාවට ජනූ ළමයට නම් හරි හිනා...

ඇයි අනේ කොහෙ තියෙන කරවලද මේ රෑ දොළහට එකට.....
ඉස්සර අඬන බබා වුණාට දැන්නම් එයා ලොකු බබෙක් වෙලා ඉන්නෙ.
දැන් අද මේ කියන්ඩ යන කතාව කියවල මල්ලි බබා ජනූ ළමයට ගහන්ඩ එහෙම ආවොත් ඔය හැමදාම කියවන්ඩ මේ පැත්තෙ එන ළමයින්ට ජනූ ළමයව බේරගන්ඩ වෙයි...

ඔන්න ඉතිං ජනූ ළමය ඉස්කෝලෙ ඉවර වෙලා අම්මලගෙ ඉස්කෝලෙට එනවනෙ ආශා අක්කත් එක්ක. ඉතිං මොන්ටිසෝරි ගිය මල්ලි බබාවත් මගින් එක්කරගෙන තමයි මෙයාල එන්නෙ.
ඒ ඇවිත් ඉස්කෝලෙ බුදුමැදුර වටෙයි ගස් වටෙයි නටන එක තමයි වැඩේ අම්ම කීයට හරි ඉස්කෝලෙ වැඩ ඉවර වෙලා එනකල්. සංගීත ගුරුතුමී අම්මට හරියට වැඩනෙ... .තරඟවලට යන ළමයි පුරුදු කරන්ඩ, බෑන්ඩ් ප්‍රැක්ටිස් කරවන්ඩ, වැඩ ගොඩයි. ඉතිං ගොඩක් වෙලාවට බබයි අම්ම වැඩ ඉවර වෙලා ගෙදර යන්න කතා කරනකොට ජනුටයි මල්ලිටයි සංගීත කාමරේ බංකු උඩ නින්දත් ගිහින්.....

මේ කාලෙ ඉස්කෝලෙ ගුරු නිවාසෙ නතර වෙලා හිටිය දිසානායක අංකල්ට සෞම්‍යා කියල මල්ලි බබාගෙ වයසෙම වගෙ දුවෙක් හිටිය... ඉතිං ජනුයි මල්ලි බබයි දෙන්න ඉස්කෝලෙ ඇරිල ඇවිත් නංගි බබත් එක්ක සෙල්ලම් කරන්ඩ ගුරු නිවාසෙට යනව...

දිසානායක ආන්ටිත් මේ දෙන්නට හරිම ආදරෙයි.... ගොඩක් දවසට සෙල්ලම් කරන්ඩ ගියාම බිස්කට්, කෙසෙල්ගෙඩි, උදේට කන්ඩ තම්බපු කඩල එහෙම දෙනව... ඉතිං කට්ටිය ඕව කාල සෙල්ලම් කරල අම්මත් එක්ක ගෙදර එනව.
ඔන්න මේ කියන දවසෙ ජනූ ළමයගෙ මල්ලි බබාගෙ මොන්ටිසෝරියෙ නිවාඩු නිසා එයා අම්මත් එක්ක ඉස්කෝලෙ ට ආව....  ජනූ ළමය ඉස්කෝලෙ ඇරිල අම්මලගෙ ඉස්කෝලෙට ඇවිත් මල්ලි බබාව හෙව්ව හෙව්ව හම්බ වුණේ නෑ....

කොහෙ හරි සෙල්ලම් කරනව ඇති.....!

මෙහෙම හිත හිත ජනූ ළමයත් ඉබේම වගේ ගුරුනිවාසෙට යන කන්ද නැග්ග
ඒ යනකොට මල්ලි බබා සෞම්‍යා නංගිත් එක්ක සෙල්ලම් කරන්ඩ ඇවිල්ලත් නෑ....

පුතේ උදේට හදපු කවුපි ටිකක්  තියෙනව... කමුද?

සුපුරුදු පරිදි ආන්ටි ඇහුව...

ජනූ ඉතිං බෑ කියනවැයි....

ඉතිං ආන්ටි පිඟානකට දාල කවුපි ගෙනත් දුන්න ජනූට... ජනුත් ඉතිං කෑව...
ඔන්න ජනූ අන්තීම කවුපි ඇටෙත් කටට දාගන්න කොටම මල්ලි බබා ආව දුවගෙන.....
එයා දැක්ක අක්කගෙ කට හෙලවෙනව...

මොනවද අක්කෙ කන්නෙ............?
කවුපි...
කවුපි........ඒ මොනවද ඒ....? කෝ මටත් ඕනෙ...

මොනවද කියල දන්නෙත් නෑ. ඒත් අක්කගෙ කට හෙළවෙනව නම් එයා කන්නෙ ලී කෑල්ලක් වුණත් කමක් නෑ මල්ලි බබාට ඕනෙ...

කවුපි කියන්නෙ ඇට ජාතියක්... කඩල වගේ..
කෝ තව නැද්ද කවුපියො???
නෑ ඉවරයි... ආන්ටි මට දුන්නෙ ඉතුරු වෙලා තිබුණ ටිකක්...

මල්ලි බබාගෙ මූන ඇද වුණා....
අයියෝ මම කවදාවත් කාලත් නෑ.... ඔයා ඇයි මට ටිකක් ඉතුරු කළේ නැත්තෙ...?
ඒ මදිවට ආඩපාලිත් කියනව...

ඉතිං මං ඔයාව හෙව්වනෙ.... කොහෙද ඔයා ගිහින් හිටියෙ...?
මම පොකුණෙ බැහැල මාලු බැලුව... මලුත් පිපිල තිබුණ...
ඔන්න පොකුණ ගැන විස්තරේ නිසා මල්ලි බබාට කවුපි කතාව අමතක වුණා...
ජනූල සෙල්ලම් කරල අම්ම එක්ක ගෙදර ගියා...
ජනූලගෙ ආච්චි අම්ම එදා රෑට කන්ඩ ඉඳි ආප්ප තම්බල, මාලු කිරට උයල, පොල් සම්බෝල හදල ජනූලට රෑට කවන්ඩ ලෑස්ති වුණා....
මට එපා ඉඳිආප්ප...මල්ලි කිව්ව...

ඇයි මයෙ පුතේ ඔයා ඉඳිආප්ප කන්ඩ හරි ආසයිනෙ.. මේ මාලු හොදිත් තියෙනව...

මට බෑ...........

ඇයි පුතේ එහෙනං මොනවද කන්නෙ.....

මට ඉඩිආප්ප එපා...... මට මවුපියො ඕනේ........................

මොනවද???
ආච්චිඅම්ම තුෂ්නීම්භූත වුණා...

මවුපියො.... කන්ඩ???
ඔවු.... අක්ක ජවල් මවුපියො කෑවා.............. මච ජුන්නෙ නෑ.......

ආච්චි අම්ම අහස පොළව ගැටලන්ඩ වුණා මේ අපබ්‍රංසෙ අහල...
මොනවද දුවේ මේ ඉල්ලන්නෙ මේකා....?
ආච්චි අම්ම අම්මගෙනුත් ඇහැව්ව

අනේ මන්ද අම්මෙ...... මාත් මේ අහගෙනයි උන්නෙ.. මොනවද පුතේ මවුපියො කියන්නෙ...?
අක්ක ඒව කෑවා.......................................!
මවුපියො කන රටක් කොහෙද තියෙන්නෙ.... මවුපියො කියන්නෙ පුතේ අම්මටයි තාත්තටයි නෙ.....අම්මවයි තාත්තවයි කන්නෙ නෑනේ පුතා....???

නෑ නෑ.... මවුපියො කියන්නෙ කන දෙයක්. අක්කට විචරක් ජවල් අම්බවුණා.... එයා චනියම කෑවා......... හී..........

ඔන්න එතකොට තමයි ජනූට මතක් වුණේ මෙයා මේ අඬන්නෙ මොනව ඉල්ලලද කියල...

නෑ නෑ.............. ආච්චිඅම්මෙ, ඔය මල්ලි ඉල්ලන්නෙ කවුපි... අද දවල් දිසානායක ආන්ටි මට කවුපි දුන්න කන්ඩ.. මල්ලි ඒ වෙලාවෙ හිටියෙ නෑ.....

ආ..... මේ කවුපිද???

අම්මටයි ආච්චි අම්මටයි හිනහව නවත්තගන්ඩ බෑ....
ඔය අස්සෙ වැඩ ඇරිල තාත්තත් ගෙදරට ගොඩවැදිල...

මේං මේකා අපි දෙන්නව කන්ඩ ඉල්ලනව...

අම්ම තාත්තට කතාව කිව්ව...
තාත්තට ඉතිං කතාව අහල මල්ලි බබා ගැන දුක හිතුන පාර මහන්සි නොබල වඩාගෙන මිදුල වටේ රවුමක් දෙකක් එක්කරගෙන ගියා....

හොඳ වෙලාවට පරෙයි කඩේ වහල තිබුණෙ නෑ....

පහුවදා උදේට තම්බන්ඩ කවුපි ගේන්ඩ ගිය ආච්චි අම්මා කිවුව....
ඕන්න ඔහොමයි අපේ ජනූගෙ මල්ලි බබා මවුපියො කෑවෙ......



ඔන්න මේක කියවල  මල්ලි බබා ජනූට  ගහන්ඩ එනවෝ....බේරගනියෝ.......!
මල්ලි බබාගෙ පින්තූරෙ හම්බ වුනේ bli-bayu.blogspot.com එකෙන්


Monday, January 17, 2011

චණ්ඩි ජනූගෙ ඉදල් පාර......!





චූටි පුතා..... නැගිටින්ඩ.... කෝ ... කෝ නැගිටින්ඩ... අද ඉස්කෝලෙ යන්ඩ ඕනෙ නෙ....?
අම්ම එහෙම කිව්ව ගමන් ජනූ නැගිටල ඇඳේ ඉඳගත්ත.
යං .... කිරි බීල ඉක්මනට ලෑස්ති වෙන්ඩ.
තාත්තට වඩාගන්ඩ කියන්ඩ.....
මොනව වුණත් තමන්ගෙ දින චර්යාව වෙනස් කරන්ඩ නම් ජනූ ලෑස්ති නෑ.
අම්ම තාත්තට කතා කළා.....
තාත්ත ආවාම ජනූ පැන්න ගමන් රිලා පැටිය වගේ තාත්තගෙ ඇඟේ එල්ලුනා.
මෙන්න බොලව් අපගේ බලු පුතුනා
මේකා නම් මහ නරක බල්ලෙකිය
මේ බල්ලා කොහි සිට ආවේ
මේකා අපායෙ ඉඳ ආවේ
හොඳ ලොකු කෝටුව ගෙනැවිල්ලා
මේකට දෙක තුන ගහපන්නේ....‍.
ඉතින් ඔන්න තාත්ත ඇවිත් ජනූව වඩාගෙන සුපුරුදු කවිය කිය කියා.... කුස්සිය පැත්තට එක්කගෙන ගියා.
අපෝ... නාකි හුරතල්.... ඔන්න කකුල් දෙකත් බිම ගෑවෙනව....
කුස්සියෙ උයන ගමන් හිටපු ආච්චි අම්මත් හිනා වුණා.
තාත්තගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන කිරි බීල ජනූ අම්මත් එක්ක මූණ සෝදන්න ගියා.
වෙනද දත් මදින්න බෑ කියල බිම පෙරලෙන ගෑනි අද සද්දයක් නැතිව අම්මට දත් මද්දවන්න ඉඩ දුන්න.
කාමරේ ඇඳ උඩ පුංචි යුනිෆෝම් එකකුයි හතරැස් ගැටයක් දාලම තියෙන පිටිපස්සෙන් ටික් එකක් හයි කරල තියෙන නිල් පාට ටයි එකකුයි ජනූ එනකල් හිනා වෙවී බලන් හිටිය.
අම්ම ලෑස්ති වෙලා ජනූට අන්දවන්න එනකල්ම ජනූ අම්මගෙන් එක එක විදියෙ ප්‍රශ්න ඇහුව
මං යන්නෙ මොන ඉස්කෝලෙටද අම්මෙ?
ජනූ  ඒ ප්‍රශ්නෙ ඇහුවෙ සිය වෙනි වතාවට විතර
කණිෂ්ටෙට...
අම්ම ඉන්නෙ ඒ ඉස්කෝලෙ නෙවෙයිද?
ඒක ඇහුවෙත් පණස් වෙනි පාරට විතර
ඉස්කෝලෙත් තියෙනවද අම්මෙ පියානෝ එකක් ආන්ටි ඊව්ගෙ වගේ?
 කලබලේ ඔසරිය අඳිමින් උන්න නිසා සමහර ඒව අම්මට ඇහුණෙත් නෑ. සමහර ඒවට ඔවු නෑ බෑ උත්තර.
කානේශයි පියුමියි හිරානුයිත් යන්නෙ මම යන ඉස්කෝලෙටමද?
එතකොට සමීර මල්ලි???
එයා තාම මොන්ටිසෝරියෙනෙ පුතේ, එයා ඉස්කෝලෙ යන්නෙ ලබන අවුරුද්දෙ...
ආ.... ඒ ඇයි එයා තාම මොන්ටිසෝරියෙ??
එයා ඔයාලට වඩා බාල නිසා...
ඒ ඇයි අපිට වඩා බාල.....?
දැන් නම් ජනූට හිතෙන්නෙ ඔය වගේ ප්‍රශ්න අම්ම හිතා මතාම මග අරින්න ඇති කියල උත්තර නොදී.... මොකද හැම උත්තරයකම කොණක් හොයාගෙන අහන්න ප්‍රශ්නයක් තියෙන ජනූට උත්තර දීල කොහෙන් පිරිමහන්ඩද.....?
අම්ම විගවිගහිං සූදානම්වෙලා පුංචි ජනූව ලෑස්ති කළා...
සුදු ගවුම ඇඳල, පුංචි ටයි එකක් දාල, සපත්තු දාල පුංචි කොන්ඩ කෑලි දෙකකුත් දාල අම්ම ජනූගෙ හැඩ බැලුව
ජනුත් කන්නාඩියට උස නැති නිසා ඇඟිලිවලින් ඉස්සි ඉස්සි හැඩ බැලුව
පරක්කු වෙනව නේද දුවේ.... කිරිබත් ටිකක් කවල පිටත් වෙන්ඩ ලෑස්ති වුණා නං....
ආච්චි අම්ම කිව්ව
ඔන්න ඉතිං අම්මයි තාත්තයි දෙන්න ජනූට කිරිබත් කවලා ජනූව එක්කගෙන ඉස්කෝලෙට ගියා.
බාලාංශ පන්තිය ලඟ කිරි පාටට පුංචි පැටවු අම්මලගෙ අතේ එල්ලිලා ඉන්නව....
සමහරු අඬනව.... තව සමහරු රණ්ඩු කරනව.
ජනූට හම්බෙලා තිබුබෙ 1 වසර ඒ පන්තිය.
අම්මයි තාත්තයි දෙන්න එක්ක ජනූ පන්තිය ලඟට යනකොට එක වසර ඒ පන්තිය බාර ටිකිරි ටීච  දොර ලඟම ඉඳල අම්මයි තාත්තයි එක්ක කතා කරන ගමන්ම ජනූගෙ අතින් අල්ලගත්ත. අම්ම කලින්ම කියල දීල තිබුණ මොන්ටිසෝරියෙදි වගේ ආන්ටි කියල එහෙම කියන්න එපා ටිචලට කියල. ඉතිං අම්ම ජනූට හාද්දක් එහෙම දීල ඈත් වුණා.
හා.....අපි යං පුතේ පන්තියට. පුතාටත් අම්මට වගේ ලස්සනට කවි සින්දු කියන්ඩ පුලුවන් නේද?
ජනූ හිතුවෙවත් නෑ අම්මගෙනුයි තාත්තගෙනුයි ඈත් වෙලා ඉස්කෝලෙ යන එක ඒ තරම් ලේසි වෙයි කියල.
අම්මලගෙ ඇඟේ එල්ලිලා අඬ අඬා හිටපු ළමයි දැක්ක ජනූටත් හිතුණ එයාටත් ඇඬෙයි කියල....
ඒත් ටිකිරි ටීච ජනූට හිතන්ඩවත් ඉඩ තිබුබෙ නෑ එයාව දාලා අමිමයි තාත්තයි යනව කියල....
එයා ටිකිරි ටීචත් එක්ක ගිහින් පන්තියෙ වාඩු වුණා.
අලුතෙන්ම කලු කරපු කලු ලෑල්ලක්....!
කලුම කලූ කට්ට කලු ලිපේ තියෙන දැලි අඟුරූ
ඒක දැක්කාම ජනූට මතක් වුණා
ලා නිල් පාට තීන්ත ගාල තිබුණු පුංචි ඩෙස්ක් හතරක් එකතු කරල හදපු ලොකු මේසෙ වටේට ඒ පාටම පුංචි පුටු තියල
ඒවගෙ ඉඳගත්ත පුංචි ළමයි.....!
හැබැයි අඳුනන යාලුවො කවුරුවත්ම නෑ....
හිරාන් නම් ජනූගෙ පන්තියටම තමයි එන්න හිටියෙ.ඒත් එයත් අම්මගෙ ඇඟේ එල්ලිලා අඬඅඬා ඉන්නව දැක්කනෙ එළියෙ...
කෝ.... කානේශයි , පියුමියි....???
ජනූ වටපිට බැලුව...
ඒ දෙන්නම තමන්ගෙ පන්තියෙ නෑනෙ....
ජනූ නැගිටලාම වටපිට බැලුව..
පටන් ගත්ත දවසෙම නිසා බාලාංශ පන්ති වෙන්කරන ලෑලි දාල තිබුණෙ නෑ.
ඉතිං ගොඩනැගිල්ලෙ තිබුණු පන්ති ටික සේරම වගේ ජනූට පෙනුනා.
පාට පාට තීන්ත ගාපු පන්ති අනිත් පන්ති අතරෙ ජනූ එයාගෙ යාලුවන්ව හෙව්ව
අන්න ඉන්නවා.....!!
කානේශයි පියුමියි එක පන්තියක එකලඟ ඉඳගෙන ඉන්නව දැක්ක ජනූ ට දුක හිතුණා.
ආ.... ඒ දෙන්නම එක පන්තියෙ... මං විතරක් මේ පන්තියෙ...ඒ මදිවට දෙන්නට ජනූව පේන්නෙත් නෑ. බර කතාවක...
ජනූ හිමින්ම ටිකිරි ටීච ලඟට ගියා.
ටීච.... මට යාලුවො ළඟට යන්ඩ ඕනෙ...
කෝ කව්ද යාලුවො....?
අර ඈත පන්තියෙ ඉන්නෙ..
ආ.... පුතේ ඔයා තේරුණේ මගේ පන්තියටනේ. යාලුවො දෙන්න තේරිලා තියෙන්නෙ සුමනා ටීචගෙ පන්තියට... ඔයාට ඒ පන්තියට යන්ඩ බෑනේ දැන්.
ඉතින් මට එයාලට කතා කරන්ඩවත් බැරිද???
ඇයි බැරි..... අපි ඉන්ටවල් එකේදි එයාලත් එක්ක කතා කරමුකෝ... දැන්  ඔයාගෙ පන්තියෙ යාලුවො අඳුනගමුකෝ....
ඔන්න  ඉතිං ටිකිරි ටීච අපේ ජනූ ළමයව ආයෙමත් එක්කරගෙන ගිහින් පුටුවෙ ඉන්දවල ආව...
ඔය ළඟ ඉන්න යාලුවත් එක්ක කතා කරන්ඩ කෝ.....
ඔයාගෙ නම් මොකක්ද?
ධර්මමාලි......
හීන් හඬින් ළඟ හිටිය ළමයා කිව්ව
ඔහොම ටිකක් වෙලා කතා කරගෙන යනකොට ඒ මේසෙ හිටපු තවත්කීප දෙනෙක් එක්ක ජනූ යාලු වුණා. ජනු ත් ඉතිං  හිත හදාගෙන මේ පන්තියෙම ඉන්න තීරණය කළා....
ටිලිං ටිලිං ටිලිං ටිලිං ටිලිං......
ඉන්ටවල් එක.....
අම්ම කෑම පෙට්ටියක දාල එවල තිබුණ පාන් කන්නත් කලින්ම ජනූට ඕනෙ වුණා කානේශවයි පියුමිවයි බලලා එන්ඩ....
ජනූගෙ පන්තියට අල්ලපු පන්තියට අල්ලපු පන්තියෙ තමයි ඒ දෙන්න ඉන්නෙ. ඉතිං ජනූට ඒ දෙන්නව බලන්න යන්න නම් පන්තියක් මැද්දෙන් යන්ඩ වෙනව.
ජනූ පිටත් වුණා....
කොහෙද යන්නෙ....
අල්ලපු පන්තියෙ පිරිමි ළමයෙක් ජනූ යන පාර හරස් කළා....
මට යන්ඩ දෙන්ඩ.... මට එහා පන්තියට යන්ඩ ඕනෙ..
ජනූ විනීත විදියට කිව්ව
බෑ බෑ මෙතනින් යන්ඩ බෑ....
ජනූ ඒ ළමය කියන එක අහන්නෙ නැතිව ඉතිරි වෙලා තිබුණ ඉඩෙන් යන්න ගියා.
කිව්වනෙ මෙතනින් යන්ඩ බෑ කියල...
ඒ පාර තව පිරිමි ළමයෙක්  ඇවිත් ඒ ඉඩත් වහගත්ත
මට යන්ඩ දෙනවලා....
ජනූට ටිකක් තරහ ගියා ඕන්න ඒ පාර නම්....
ටීච..... ටීච......මෙයාල මට යන්න දෙන්නෙ නෑ....
ජනූ කෑ ගැහුවා...
ඒත් ඉන්ටවල් එකේ පුංදි ළමයින්ගෙ සද්දෙ නිසා ටීචට ජනූ උදව් ඉල්ලා කෑ ගහන සද්දෙ ඇහුණෙ නෑ...
දෙන්නැද්ද මට යන්ඩ.....?
නෑ....
පිරිමි ළමයි දෙන්නත් ආඩම්බර ලීලාවෙන් කිව්ව.
මේ වෙනකොට සිද්ධිය බලන්ඩ තවත් ලමයි දෙතුන් දෙනෙකුත් වට වෙලා....
දෙන්නෙ නැද්ද???
අහන ගමන් ජනූ වටපිට බැලුවෙ යමක් හොයා ගන්නයි...
ඇයි අපිට මොනව කරන්නද???
කොල්ලො දෙන්නත් නවත්තන පාටක් නෑ....

චටාස් චටාස්....!
අම්මෝ ගහනවෝ......!

එක පාරටම සිද්දවෙච්ච දෙයින් කොල්ලො දෙන්නා කෑ ගහගෙන දෙපැත්තට විසි වුණා.
නරඹන්නො ටිකත් විලාප තියන්ඩ ගත්ත.
ඒ සද්දෙට ටීචලා දුවගෙන එනකොට.... බිත්තියට හේත්තු කරල තිබ්බ බී පන්තියට ආව ළමයෙක් අරන් ඇවිත් තිබුණ පුංචි  ඉදල අතට ගත්ත ජනූ පිරිමි ළමයි දෙන්නට හොඳට සළකල.....  දෙන්නම හොඳටම අඬනව. වටේට එකතු වෙච්ච කටිටියත් අඬනව. ජනූ ඉන්නව අර ඉදලත් අතේ තියාගෙන චණ්ඩි ශ්‍යාමා වගේ....!
ඔන්න ඉතින් නඩු ඇසීමේ වාරය ඇරඹුනා.
දැන් අර පිරිමි ළමයි දෙන්න අඬ අඬා නඩු කියනව ජනූ එයාලට ගැහුව කියල....
චීච.......... මෙයා අපිච ඉජලෙං ගැඋවා.............. ඌ.............................
කොහෙටද වැදුනෙ පුතේ......?
මෙචෙන්ච..........ඌ.............................
දෙන්නම අඬනව
ජනූට හරිම තරහයි....
ටීච මෙයාල මම යාලුවො බලන්ඩ යනකොට පාරට පැනල මට යන්ඩ දුන්නෙ නෑ. මම කිව්ව කිව්ව යන්ඩ දෙන්ඩ කියල... එයාල යන්ඩ දුන්නෙ නෑ... ඒ හින්ද තමයි මම ගැහුවෙ....
ඒ වුණාට පුතේ... ළමයින්ට ගහන්ඩ හොඳ නෑනෙ එහෙම. මීට පස්සෙ එහෙම කරන්නෙ නෑ ඔන්න.... කියන්ඩ මේ දෙන්නට සොරි කියල... මම ආයෙ එහෙම කරන්නෙ නෑ කියල.
ටීච ජනූට තරවටු කළේ අමාරුවෙන් හිනාව නවත්තගෙන.
සොරි.... මම ආයෙ එහෙම කරන්නෙ නෑ.........
ඊට පස්සෙ අර කොල්ලො දෙන්නටත් කිව්ව
මොකටද ඔයාල ගෑණු ළමයින්ට කරදර කරන්ඩ ගියේ.... ඔයාලගෙ පාඩුවෙ සෙල්ලම් කළා නම් ඉවරයි නෙ.... කියන්ඩ මෙයාටත් සොරි කියල... මම ආයෙ එහෙම කරන්නෙ නෑ කියල.
චොරි..... අපි ආයෙ ඒම කලන්නෙ නෑ....... ඌ..............
වැඩේ එතනින් ඉවර වුණා කියමුකො.....
හැබැයි තාමත් අවුරුද්දට ටිකිරි ටීචව බලන්ඩ ගියාම ඔය කතාව මතක් කරල ටීච ජනූට හිනා වෙනව....







 පින්තූරෙ නම් හොයාගත්තෙ http://www.mixtkids.com කියන අඩවියෙන්












Friday, January 14, 2011

ලිට්ල් මිස් ජනූගෙ නහයෙ මල් ඇටයක්......!

මොන්ටිසෝරියත් නිවාඩු.....
ජනූ ළමයට හරි පාලුයි....
 වෙනද නම් මේ වෙලාවට මොන්ටිසෝරියෙ ඉන්ටවල් එකනෙ....
ඒ වෙලාවට කට්ටිය ගෙදරින් ගෙනාව දේවල් හුවමාරු කරගෙන කාල පොඩි වෙලාවක් සෙල්ලම් කරනව නෙ....
ආන්ටි ඊව් ගෙ මොන්ටිසෝරිය තිබුණෙ නාරම්මල දැන් ලංකා බැංකුව තියෙන තැන.
ඒක ලොකු ගෙදරක්.... ඒ ගෙදර තිබුණ ගරාජ් එකේ තමයි ජනූලගෙ මොන්ටි සෝරිය පැවැත්තුවෙ.
 ඉන්ටවල් එකේදි ජනූගෙයි  එයාගෙ යාලුව සුරංගගෙයි ආසම සෙල්ලම වුණේ එයාලගෙ ගරාජ් මොන්ටිසෝරියෙ වාහනවලට ඇතුළට දාන්න ලේසි වෙන්න ඇලට දාල තිබුණ කටු සිමෙන්ති පොළවෙ දෑත් අතුල්ලන එක.
මෙහෙම ටිකක් වෙලා රත් වෙන්න බිම අතුල්ල ඊට පස්සෙ අත් දෙක එකට අතුල්ලනකොට හර්ම සිනිදුයි. ඉතින් දෙන්න තරගෙට අත් දෙක පොළවෙ අතුල්ලන එක. තව මොන්ටිසෝරියෙ ෆ‍්‍රිජ් එකේ තියෙන ලොකු ක්ලේ බෝලෙ අරන් ඇවිත් ඒකෙන් එක එක සත්තු, මල් හදන්නත් ආසයි.
එයා ගොඩක්ම ආස සිංගින් ඩේ එකට තමයි. එදාට මොන්ටිසෝරියෙ ළමයි සේරම ආන්ටි ඊව්ෙගෙ පියානෝ එක වටේට එකතු වෙලා නර්සරි රයිම්ස් කියනව. ජනූයි එයාගෙ යාලුව පියුමියි කානේශයි දෙන්නත් එක්ක මොන්ටිසෝරිය ඉවරවෙලා අම්මල ඉස්කෝලෙ ඇරිල ඇවිත් එයාපව එක්ක යනකල් මොන්ටිසෝරියෙම ඉන්නව. ආන්ටි ඊ්ව් ජනූට පියානෝව වාදනය කරන්න උගන්නන්නෙ මේ වෙලාවට.... පුංචි කාලෙ ඉඳලම එයාට හොඳට සින්දු කියන්ඩ පුලුවන් නිසා ආන්ටි ඊව්ගෙන් ටිකක් කැඩිපුර සැලකිලි හම්බවුණා ජනූට....
මෙෙහම ඉන්න වෙලාවට කන්න කියල පියුමිට එයාගෙ  අම්ම කේක් අරන් දෙනව.... ඉතින් මේ තුන් දෙනා කරන්නෙ අර කේක් කෑලි ටික කුඩු කරල ටික ටික කන එක....
කේක් කුඩු කලාම කොච්චර රසද කියල ඔයාලත් කාලම බලන්ඩකො.
සමහර දවසට ජනුයි පියුමියි අම්මල වෙන දේවල් අරන් දෙන්න හදනකොටත් කියනව
අනේ කේක් අරන්දෙන්නකො කුඩු කරල කන්න කියල

හවස් අතේ කරන්න වැඩක් නැතිවුණා.
ෂිහ්....
අසනීපෙන් හිටිය මල්ලිත් නිදාගත්තනෙ.
ඒ පාර ආච්චි අම්මට තරහ යන වැඩක් කරල එයත් එක්ක පොඩි වලියක් දාගෙන තරහවෙලා නින්දට වැටුණු ජනූ ළමය ඇහැරුණේ  අම්ම ගෙදර ඇවිත් කතා කළාමයි.
චූටි පුතා...... මොකද මේ නිදි.....?
සාමාන්‍යයෙන් ජනූ දවල්ට බලෙන්වත් නිදි කරවන්න බැරි ළමයෙක් නෙ. ඉතිං අම්ම බෙල්ලට අත තියල ජනූට උණද කියලත් බැලුව..
ඒ පාර ජනූ නැගිටලා අම්මත් එක්ක කුස්සිය පැත්තට ගිහින් අම්ම ඉස්කෝලෙ ඇරිල එනකොට පෙරේරා බේකරියෙන් ගෙනාව උණු උණු බනිස් එකක් කාලා මිදුලට ගියා.
මොකක්ද කරන සෙල්ලම....... ම්..... ජනූ කල්පනා කළා.
 වැලි මිදුලෙ අතරින් පතර වැවිච්ච දිග කූරු කොළ තියෙන කළාඳුරු පැළ අස්සෙන් කූඹි රැළක් යනවා දැක්ක ජනූ උන්ව බලන්න පොඩ්ඩක් බිම වාඩි වුණා.....
දුඹුරු පාට කූඹි.....
සමහරු පෙඩි පොඩි කෑම කෑලි අරන් යනව...
සමහරු තමන්ටත් වඩා ලොකු ඇට වර්ග අරන් එහාට මෙහාට වීසි වෙවී යනවා දැක්ක ජනූට හිනා ගියා....
ඒ අස්සෙ අමාරුවෙන් ලොකු කුරුමිණියෙක්ව අරගෙන යන්න හදන කූඹි හතර පස් දෙනෙක්ව දැක්ක ජනූ කල්පනා කළා....
අනේ පවු මේ කට්ටිය....
මේ... මේ....... මේ කුරුමිණියව ඔයාල ගෙනියන්නෙ කොහෙටද?
කූඹි ටිකත් හරියට මෙයාගෙ කතාව ඇහුණ වගේ නැවතුණා....
ආයෙත් යන්ඩ ගත්ත......
පොඩ්ඩක් ඉන්ඩකො බලන්ඩ.....
ජනූ නැගිටල කූඹී පෙරහැරේ අවසානය හොයාගෙන ගියා.
ළිඳ වටේ රවුමක් හා ඊට එහායින් තිබුණ හීං නාරං ගහ වටේට රවුම් දෙකක් කැරකිලා කූඹි පෙරහැර ජනූලගෙ ගෙදර පිටිපස්සෙ බිත්තියක් මුල්ලකින් ඉවරවෙනව ජනූ දැක්ක....
හා... මං උදව් කරන්නංකො ඔයාලට.....
ජනූ දුවගෙන ගියා කුරුමිණියව ගෙනියන කූඹි කට්ටිය ළගට...
දෙන්ඩ මං ඔයාලට කුරුමිණියව ගෙනිහින් දෙන්නං...
ජනූ කුරුමිණියව අතට ගත්ත...
හදිසියේ තමන්ගෙ හිද මත තිබුණු අපූරු කෑම අතුරුදහන් වුණු බව දැණුන කූඹි කණ්ඩායම හොඳටම කළබල වුණා....
පේළිය පැනල හිස් හැරුණ අතේ යන්ඩ ගත්ත...
හා හා මෙහෙ මෙහෙ.....
මං මෙයාව ගිහින් දෙන්නං......
ඔයාල ගිහින් දැන් වෙන මොනව හරි අරන් එන්ඩ....
ජනූ කූඹි රැළට උපදෙස් දීල කුරුමිණියව අරන් ගිහින් බිත්තිය මුල්ලෙ තැන්පත් කළා...
හැබැයි ආයෙ හිටපු තැනට එනකොට කළබල වුණු කූඹි කණ්ඩායම නිසා ටිකෙන් ටික මුලු කූඹි රැලම කලබල වෙලා...
අනේ අනේ...... ඔයාල කොහෙද මේ දුවන්නේ......? පෝලිමට යන්ඩ පෝලිමට යන්ඩ....
ජනූ එයාලගෙ මොන්ටිසෝරියෙ ආන්ටි ඊව් වගේ කට හදාගෙන කිව්ව....
ඒත් කවුරුත් කියන දේ අහන පාටක් පේන්න නැති වුන නිසා ජනූට දුක හිතුණා....

හපොයි වෙච්ච දෙයක්
ජනූට සෙල්ලමත් එපා වුණා

ඔයාල හරි නරකයි.... මං තරහයි.... මං යනව යන්ඩ.... ගිහින් තනියම සෙල්ලම් කරනවා.....

මූණ බෙරි කරගත්තු ජනූ කූඹි රැළ අතහැරල යන්න ගියා...... එතකොටයි එයා දැක්කෙ මිදුලෙ තැනින් තැන සුදු පාට පුංචි මොට්ටු පිපිල තියෙන කලාඳුරු මල්....
ඒක දැකපුවාම ජනූට එකපාරට මතක් වුණේ එයාගෙ කතා පොතක ලස්සන  රෝස පාට අත් දිගට දාල තියෙන ගවුමක් ඇඳල, කැරලි කැරලි කොන්ඩෙ තියෙන ගෑණු ළමයෙක් මල් කූඩයක් අරන් පිට්ටනියක ඇවිදින චිත‍්‍රයක්......
ඒ ගෑනු ළමය පිට්ටනියෙ බිම පුංචි පඳුරුවල හැදිල තියෙන සුදු පාට පුංචි මලක් කඩාගෙන ඒක නහයට ලං කරගෙන ඉන්න හැටි තමයි ඒකෙ ඇඳල තිබුණෙ...
ඒ චිත්‍රෙ මතක් වුණාම ජනූට හිතුණා පොඩ්ඩක් ඒ ගෑනු ළමය වෙන්න...
ඒ පාර මොකද කළේ.... එයාගෙ පුංචි මල් කූඩෙ හොයාගෙන අරන් ආව ජනූ හිමින් හිමින් අඩි තිය තිය එයාලගෙ සිංගින් ඩේ එකේදි කියන සින්දුවකුත් මුමුණ මුමුණ කලාඳුරු මල් කඩන්න පටන් ගත්තා.....

ලීටිල් මිස් මෆට්...
සැටි ඔන් අ ටෆෙට්...............

මේ සින්දුවෙන් කියවෙන කතාවෙ හැටියට පුංචි මිස් මෆට් ලී කොටයක් වගේ එකක් උඩ ඉඳගෙන ඇගේ කිරි කනකොට ලොකූ මකුලුවෙක් ඇවිත් ඇයව බය කරනවනෙ...
ඒ පාර ජනූට ඔ්නෙ වුණා මිස් මෆට් වගේ ඉඳගන්ඩ...

මල් කූඩෙත් අරන් මිදුලෙ අඹ ගහයට සිමෙන්ති කොලොම්බුවෙ ඉඳගත්ත ජනූ කඩා ගත්ත කලාඳුරු මලක් අතට අරන් නයහට ලං කළා....
කිසිම සුවඳක් නම් නෑ....
වෙන්ඩ බෑ නෙ....
 එයා වෙනද ආච්චි අම්මට මල් පූජ කරන්ඩ ගැට පිච්ච මල් කඩනකොට පූජ කරන මල් ඉඹින්ඩ හොඳ නෑ කියල කියල දීල තිබුණත් ඒව ඉඹල තියෙනවනෙ...
ඒව හරි සුවඳයි නෙ... ඇයි මේ මල් සුවඳ නැත්තෙ....
ජනූ ආයෙත් පාරක් කලාඳුරු මල නහයට ලං කරල හයියෙන්
හුස්මක් ගත්ත...

ටක්.....

එක පාරටම මොකක් හරි වුණ බව ජනූට දැනුණ..
අතේ තිබුණු මල දිහා බැල්වාම සුදු පාට මොට්ටුව අතුරුදහන් වෙලා.....
ජනූ බිම බැලුවා..... හතරවටේම කැරකි කැරකි....
ම්හ්... ඒක නෑ....

ආ...හ්.... ???
එක පාරටම ආව සිතිවිල්ලකින් ජනූ හුස්ම ගන්න හදනකොට හුස්ම උඩට එන්නෙ එක නාස් පුඩුවකින් විතරයි කියල ජනූට දැනුණ....

හපොයි.... එහෙනං මොට්ටු මල මගෙ නහය ඇතුළට ගියාද.....?
ජනූ හොඳටම බය වුණා....
ජනූගෙ ඇස්වල කඳුලු පිරුණා....
මල් වට්ටිය අතින් වැටුණා.....
අම්මේ.... අම්මේ....
 ජනූ ගේ ඇතුළට දිව්වා..........
එතන ඉඳල වෙච්ච දේවල් ඉතිං අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ නෑ නෙ ඔයාලට...
අම්ම ජනූව උස්සගෙන දඹදෙනියෙ ඉස්පිරිතාලෙට දිව්ව...

මේක මෙහෙ දි අයින් කරන්න බෑ...
කුරුණෑගල ගෙනියන්ඩ
ඔපරේට් කරන්ඩ වෙයි....

ඉතිං අම්ම ජනූව අරන්  කුරුණෑගල දිව්ව.....

ඉතිං නාවින්න ඉස්පිරිතාලෙ දොක්ටර් අංකල් කෙනෙක් ලගට ජනූව අරන් ගියා කියමු කෝ...

අම්මගෙන් කතාව වටින් ගොඩින් අහගත්ත ඩොක්ට අංකල් ජනූගෙ නහයට ටෝච් එකක් එහෙම ගහල බලල... ජනූ එක්ක කතා කරන්ඩ පටන් ගත්තා.
 ඉතිං කියන්ඩකො බබා... මොන්ටිසෝරි යනවද?
ඔවු...
ඉතිං කවුද හොඳම යාලුවා.....?
ඔන්න ඉතිං මොහොතකට ජනූට අමතක වුණා මේ ඇවිත් ඉන්නෙ ඩොක්ට අංකල් කෙනෙක් ලගට බෙහෙත් ගන්ඩ කියල... එයා විස්තරේ පටන් ගත්තා.....

ශා.... හරී ලස්සන කොන්ඩ කට්ටක් නෙ..... මට දෙනවද?
හා....
ජනූ ඒක ගලවල ඩොක්ට අංකල් අතට දුන්න.

ජනූ එක්ක කතා කරන ගමන් ඩොක්ට අංකල් ජනූගෙ කොන්ඩ කට්ටක් ගලව ගත්ත ගමන් අම්මයි නර්ස් ආන්ටියි ජනූව අල්ලගත්ත...
ජනූට හෙල්ලෙන්නවත් බැරි වුණා.

කොණ්ඩ කටුව ජනූගෙ නහය ඇතුළට ආපු ඩොක්ට අංකල් හිරවෙලා තිබුණු මොට්ටු මල එලියට ගත්තා....

යාන්තං ඇති... ජනූ බේරුණා....

හැබැයි සිද්ද වෙච්ච දේ ජනූගෙන් සහ සුද්දෙන්ම අහගත්ත අම්මයි තාත්තයි නැන්දල මාමලයි.... ඔක්කොමලා ඒක මතක් වෙන ගාණෙ පණ  යනකල් හිනා වුණා......ෙමන්න ෙම් කවිය කියල.
අර රජ බිසව ගෙ කතාවෙ අන්දරේ කියන්නෙ කවියක් බිසව හිනස්සන්ඩ.
ඇටිකිටි චොහ්
කකුලු ඥරස්
හාවා කළ අකල විකල
මේ මරණින් ගැලවුණි නං
ආයෙත් නොකමි හීල් බත් දංකුඩ......