Friday, October 14, 2011

බුල්ටෝ හාමි නිසා ගැලවුණු ජනූගෙ දත් හාමි...!!!!


ඉතිං කොහොමද යාලුවනේ.....???
ජනූගෙ කතා කියවන්න ඔයාල කාලෙක ඉඳල බලන් ඉන්නව කියල නං ජනූ දන්නව.
ඒත් ඉතිං පුංචි කාලෙ වගේ අම්මල කන්ඩ බොන්ඩ හදල දෙනකල් බලන් ඉන්ඩ විදියක් නෑනෙ දැන්....!! රස්සාවක් කරන්ඩ, සල්ලි හොයල මල්ලි බබා එක්කල එක කාමරේක නතර වෙලා එයාටයි මල්ලි බබාටයි කන්ඩ බොන්ඩ උයන්ඩ, තව කොච්චර නං වැඩද එයාට...
ඉතිං දවසිං දවස පහු වුණා කතාවක් ලියන එක....
එහෙනං ඔන්න අහන්ඩ කො අද මොකද්ද ජනූට වෙලා තියෙන්නෙ කියල....
ඔන්න ඉතිං ජනූයි මල්ලි බබයි අම්මයි තාත්තයි ගමේ ගිහින් අර පැට්‍රොමැක්ස් එකේ පැලපීය අල්ලපු කතාව ඔයගොල්ලො දන්නවනෙ...... මේ වැඩේ වුණෙත් ඔහොම ගමේ ගිහින් එහෙ නතර වෙලා හිටිය කාලෙක තමා....
අපේ ජනූට පුංචි කාලෙ ඉඳලම පුරුද්දක් තියෙනව හැම දේටම පණ කියෙනව කියල හිතන.....
ජනූට මේ ලෝකෙ පණ නැති කිසිම දෙයක් නෑ.....!!!
ජනූ වැඩ කරද්දි කම්පියුටර් එකත් එක්ක කතා කරන හැටි අහන් හිටපු ජනූගෙ යාලුව රූ          බබා දවසක් කිව්ව....
හිතල බලපුවාම ඒක ඇත්ත තමයි.... ජනූ වැඩ කරද්දි කම්පියුටර් එක එක්ක කතා කරනව නේන්නං.....
ආ....න්න එහෙම හොඳ ලමයෙක් වගේ මගෙ ෆයිල් එක සේව් කරගන්ඩ කම්පියුටර් හාමි ..... අනේ ඔන්න ස්ටක් වෙන්ඩ නං එපා හරිද??? මං මේ ලොකු වැඩක් කර කර නෙ ඉන්නෙ..... තේරෙනවද කම්පියුටර් හාමිට???
ජනූගෙ එහා පැත්තෙන් ඉඳගෙන ඉන්න ආශා අක්කට නං පිස්සු හැදිල ආයෙත් හැදෙනව ඇති ජනූගෙ මේ වැඩ වලට..... එහෙම කිව්වට ජනූ නෙවෙයි පොඩ්ඩක් වත් සැලෙන්නෙ......
එයාට යස අගේට හැම පුටුවක් මේසයක් බිත්තියක් එක්කම වුණත් කතා කරන්ඩ පුලුවං....
හිඟන්නෙක්ට වුණත් නම්බු දීල කතා කරන්ඩ ඕනෙ කියල ජනූගෙ අම්ම එයාට කියල දීලනෙ තියෙන්නෙ...
 ඉතිං ජනූ එයාගෙ පණ තියෙන නැති හැමදේකටම කතා කළේ “හාමි“ කියල කෑල්ලක් එක්ක....
බලු හාමි, හඳ හාමි, බලල් හාමි, රිලා හාමි, නරිහාමි,
පූටු හාමි, කම්පියුටර් හාමි, ලැප්ටොප් හාමි, ෆෝන් හාමි, කුමාරිහාමි.... වැරදුනා වැරදුනා.... අපේ පොඩි කුමාරිහාමිව මතක් වෙලානෙ එහෙම කිව්වෙ..... කවුරුත් විහිලු කරන්නෙ එහෙම නෑ එයාට හරිද??
ඔන්න ඉතිං අරකිව්ව විදියට ගමේ ගිහිල්ල අපි කට්ටිය ඇහැලියගොඩ ඉන්න අපේ ලොකු චූටි මාමලගෙ ගෙදර ගියා....
එහෙ යන්ඩ තමා ජනූ කැමතිම....
ඇයි???
කඩේ විකුණන්ඩ තියෙන ටොපි ‍චොක්ලට්, බුල්ටෝ සේරම ලොකු චූටි මාම දෙනවනෙ ජනූට කන්ඩ හිතේ හැටියට....
ඔය ළමයට ඔය තරම් පැණි රස දෙන්ඩ එපා මල්ලි.... ජනූගෙ අම්ම ලොක චූටි මාමට කෑගහනව....
කියන කාලෙ ජනූ  ඉස්කෝලෙ එක වසරෙ විතර.... යාලුවො සේරමල පෙරහැරක් පිටිපස්සෙන් ගිහින් දත් නැති කරගෙන එන කාලෙ....
එයාලගෙන් ආ.... පෙරහැරක් පිටිපස්සෙන් ගියාද??? කියල ඇහුවාම එයාලට තරහ යන හැටි දැකපු ජනූට පුදුම හිතුණ....
පෙරහැරක් පස්සෙන් මං කවදාවත් ගිහින් නෑනෙ???  ඇයි මේ කට්ටිය එයාලට හිනාවෙන්නෙ??? එයාලට ඇයි ඉතිං ඔය තරම් තරහ යන්නෙ එහෙම කිව්වාම....? පෙරහැරක් පස්සෙන් ගියාම හරි ශෝක් නෙ....
ඔන්න ඔහොම එව්ව තමා ජනූට හිතුණෙ....
ඔන්න දවසක් දා කඩේ විකුණන්ඩ තියෙන කතන්දර පොත් රාක්කෙ ලඟ කැරකි කැරකි ඉන්න ජනූට බුල්ටෝ බඩගින්නක් හැදුන....
එයා කඩේ කැෂියර් වෙච්ච ලොකු චූටි මාම ලඟට ගිහින් පොඩ්ඩක් එහාට මෙහාට ගියේ ජනූට බුල්ටෝ එකක් දුන්නොත් හොඳයි නේද කියල එයාට නිකං හරි හිතෙයි ද බලන්ඩ....
 ඒත් මොකක්දෝ වැඩක හිර‍වෙලා හිටපු ලොකු චූටි මාමට නං ජනූ ආව කියල ගාණක්වත් ගියේ නෑ ඔන්න....
මාමෙ......
මාමෙ.......
සද්දයක් නෑ...ජනූගෙ මූණ ටිකක් ඇද වුණා.... ඔච්චරටම ඇහෙන්නෙ නැද්ද මාමගෙ කණ??
ලොකු චූටි මාමෙ......??
ආ...... ආ........ඇයි දූ??? මොකද???
එක පාරටම මාම උත්තර දුන්නාම ජනූ  උත්තර දී ගන්ඩ බැරිව හිර වුණා....
මේ මේ.... මේ.... බු බු... බු බු....
බුල්ටෝද????? බෑ බෑ... හපෝ බෑ ... මට අක්කගෙන් බැනුම් අහන්ඩත් වෙයි.... ඔයාට පැනිරස කවනව වැඩියි කියල අක්ක මට ඊයෙත් දොස් කිව්වනෙ.... දැන්නං බෑ....
ලොකු චූටි මාම උත්තර දුන්නෙ එයා කර කර හිටපු වැඩෙන් ඔලුව උස්සන්නෙවත් නැතුව....
ජනූ ගෙ මූණ හොඳටම ඇද වුණා....
අපෝ මෙයාගෙ තියෙන ලොකු කම... ඕන්නෑ ඔයාගෙ බුල්ටො...
ජනූ මාමත් එක්ක තරහ වෙලා එතනින් ඈතට ගියා... ආයෙමත් රාක්කෙ ලඟට ගිහින් පොතක් අරන් කියවන්ඩ පටන් ගත්ත .....
ට්ක වෙලාවක් ගත වුණා.... ඔලුව උස්සල බලපු ජනූ දැක්කෙ මොකද්ද??

කැෂියර් එකේ කවුරුත් නෑ....!!!!
සීනි බෝල ටොෆි චොක්ලට් දාපු ලස්සන පාට පාට බෝතල් ඒක වටේ පිරිල
ජනූ හෙමින් හෙමින් වට පිට බල බලා කැෂියර් එක ලඟට කිට්ටු කළා
වටපිට බැලුව... කවුරුත් නෑ වගේ පේන්ඩ....
ටක් ගාල බුල්ටෝ බෝතලේ ඇරල බුල්ටෝ එකක් ගත්ත ජනූ ආපහු තමන් හිටපු තැනට දිව්ව....
ඔතල තිබුණ සවු කඩදාසිය ගලවල ඉස්සෙල්ලම බැලුවෙ ඒක ඇතුලෙ තිබුන ස්ටිකර් එක මොකද්ද කියල තමයි...
ලස්සන පූස් හාමියෙක් තමා ස්ටිකර් එකේ හිටියෙ....
ජනූ ඒක ගවුම් සාක්කුවෙ දාගෙන බුල්ටෝ එක කෑ‍ව....
දැන් ඔය කියවන අපේ යාලුවො කවුද බුල්ටෝ කාල තියෙන්නෙ???
අත උස්සන්ඩ බලන්ඩ??
බුල්ටෝ කියන්නෙ පුංචි කොටකෑල්ලක් වගේ සවු කඩදාසියක ඔතල තියෙන හයියම හයිය ටොෆියකට... ලොකු චූටි මාම ඉස්සිස්සෙල්ලාම බුල්ටෝ එකක් දීල කිව්ව කතාව තාමත් ජනූට මතකයි....
දුව බැරි වෙලාවත් මේක හැපුවොතින් සිද්ධ වෙන දේ දන්නව ද???
දත්වල ඇලිල හරිම ජරමරයක් වෙනව.... ඒ හන්ද හපන්ඩ නං එපා.... සූප්පන්ඩ....
හා................   ජනූත් හොඳ ළමය වගේ ඔලුව හෙම වැනුව!!
දැං නං ජනූ  හරි පණ්ඩිත හාමි වගේ මෙහෙම කියයි.... ඒ වුණාට  එයාට වෙච්ච වැඩේ ඔයාල දන්නෙ නෑනෙ ඔය හොරකම් කරපු බුල්ටෝ එක හපන්ඩ ගිහින්....
ඔන්න ඉති ජනූ පොත කියවන ගමන් බුල්ටෝ එක කන්ඩ පටන්ගත්ත කියමුකො....
ජනූලගෙ අම්ම  හැමතිස්සෙම ජනූලට කියල තියෙන්නෙ ටොෆියක් වගේ හයිය දෙයක් කවන කං ඉස්සෙල්ලාම ඒක හපන්ඩ කියල... මෙහෙම කරන්නෙ ජනූ ටොෆිය උගුරෙ හිර කරගනීවි කියන බයටනෙ... ඉතිං අපරාදෙ කියන්ඩ බෑ ජනූ අකමැත්තෙන් වුණත් ඒ වැඩේ කරනව....
දැන් බුල්ටෝ එක කටේ ඒ මේ අත රෝල් කර කර සූප්පු කර මින් ඉන්න අතරෙ ජනූට ඉබේම මේ බුල්ටෝ එක හැපුණ...
හප්පොච්චියේ....  හක්කෙ දත්වල බුල්ටෝ එක ඇලුණ....
දැන් මොකද කරන්නෙ??? ජනූ බීරන්තට්ටු වුණා.....
දිවෙන් එහාට මෙහාට කරල ඇලිච්ච බුල්ටෝ එක ගලවන්ඩ බැලුව ...
හරී........යාන්තං ගැලවුණා..... ආයෙමත් ජනූ බුල්ටෝ එක රෝල් කරන්ඩපටන් ගත්ත...
අපොයි ඒ පාර බුල්ටෝ එක ගිහින් ඇලවුණේ හෙලවි හෙලවි තිබුණ යට ඇන්දෙ දතක...
ඒ පාර නං ටිකක් තදට ඇලිල වගේ... දිවෙන් එහා මෙහා කරල බුල්ටෝ එක ගලව ගන්ඩ හැදුවත් බැරි වුණ තැන ජනූ බුල්ටෝ එක අතින් ඇදල ගලවන්ඩ හැදුව...
ම්හ්......... හෙල්ලෙන්නෙවත් නෑ....
ඒ පාර නං ජනූ පුලුවන් වීරිය දාල බුල්ටෝ එක අතින් ඇද්ද
දත් පාරවල් වැදිල ඇදවෙච්ච බුල්ටෝ එක ගැලවිලා ජනූගෙ අතට ආව....
හ්ම්.... විසිකරන්ඩත් දුකයි....
ආයෙමත් වටපිට බලපු ජනූ බුල්ටෝ එක කටට දාගත්ත....

ඒ පාර නං බුල්ටෝ එක තවත් ලොකු වෙලාද මන්ද???
හැපෙන්නෙ නැති කෑල්ලකුත් තියෙනව නෙ මේකෙ...
මෙහෙම හිත හිතා අමුත්තක් දැනිල බුල්ටො එක ආයෙමත් අතට අරන් බලනකොට තමයි ජනූ දැක්කෙ වෙලා තිබුණ විනාසෙ.....
හපොයි!!!!

බුල්ටෝ එක ජනූගෙ දතක් ගලවල!!!!
දත ඇලිල තියෙනව බුල්ටෝ එකේ....
ඒක දැකපු ගමන් ජනූ විලාප තිබ්බ සද්දෙට ලොකු චූටි මාමයි අම්මයි කට්ටියම ආව....
කට්ටියටම හරිම හිනා වෙච්ච වැඩේට...
කොහෙන්ද ඔයාට බුල්ටෝ??? මම කිව්වනෙ කන්ඩ එපා කියල???? දැන් දැක්කනෙ වෙච්ච දේ??
අම්ම සැර වුණා....
මමයි දුන්නෙ අක්කෙ.... ලොකු චූටි මාම හීන් හඩින් කියද්දි ජනූ හැඬුම් අස්සෙන් ඔලුව උස්සල බැලුව එයා දිහා....
අනේ අම්මෙ ආයෙ එතනින් දතක් එයිද??
දැන් දූ ඔය දත අරගෙන ගිහින් ලේනෝ ලේනෝ  මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ කියල වහලෙට වීසි කරන්ඩ... එතකොට අලුත් දතක් හම්බ වෙයි....
ඇහැලියගොඩ ආච්චි අම්ම කිව්ව....හවස් අතේ ලොකු චූටිමාමත් එක්ක කඩේ මිදුලට ගිය ජනූ ලේනට දත වීසී කලා...
ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ!!!!! කියල
ඒ විතරක් නෙවෙයි ආයෙ කවදාවත් හොරකම් කරන්නෙ නෑ කියල ලොකු චූටි මාමට පොරොන්දුත් වුණා....
ඔන්න ඔහොමයි බුල්ටෝ හාමි ජනූ හාමිගෙ දත් හාමි ගැලෙව්වෙ
නිවාඩුව ඉවර වෙලා ඉස්කෝලෙ ගියාම නං ජනුට තේරුණා පෙරහැරක් පස්සෙං යාමේ විපාක මොනවද කියල!!!
දැක්ක නේද ළමයි හොරකම් කළාම වෙන දේ???  
දැං ඔය ළමයින්ට මේ කතාවෙන් ගන්ඩ තියෙන ආදර්ශෙ මොකද්ද???
හා කියමු බලන්ඩ කවුරුත් එක්කල.....


පින්තූරෙ හම්බ වුණේ මෙන්න මෙතනින් : letitbesaid.com

Wednesday, May 4, 2011

ජනූ ළමයටයි හිරාන්ටයි වෙච්ච ''හරි වැඩේ"...


ජනූ ළමයගෙ කතා කියවන ඔයාල අඳුනනවනෙ එයාගෙ යාලුවො සමහරුන්ව...
මේ කතාව ජනූ ළමයගෙ මොන්ටිසෝරි යාලුවෙක් වුණ... අදත් හොඳම යාලුවෙක් වෙන හිරාන්ටයි ජනු ළමයටයි වෙච්ච  හරි වැඩක්!!!
ඔන්න ජනූ ළමයයි හිරානුයි එක වසරෙ ඉඳල පහවසරට වෙනකල්, ඊට පස්සෙ ශිෂ්‍යත්වෙ පාස් වෙලා හය වසරෙ ඉඳල නවය වසරට එනකල් එකම පන්තියෙ හිටියෙ... ගජ යාලුවො!!! දවසක් ජනූ  වාහන දෙකක් හැප්පිලා තිබුණ තැනක වැටිල දිලිසි දිලිසි තිබිච්ච වින්ස්ක්‍රීන් කෑලි අහුලනව දැකපු හිරාන් ඊලඟ දවසෙ එයාට වින්ඩ්ස්ක්‍රීන් කෑලි මල්ලක්ම ගෙනත් දුන්න...
කොහෙන්ද මෙච්චර ගොඩක්??
ජනූ ඇහුව
අපේ කාරෙක හැප්පිලා ගෙදර... කාරෙක ඇතුලෙ තිබුණෙ...
හිරාන් කිව්ව
කානේශයි පියුමියි හිටියෙ වෙන පන්තියකනෙ...හැමෝගෙම අම්මල දෙන්න උගන්නන්නෙ ලොකු ඉස්කෝලෙ නිසා එයාලත් යාලුවො...කොහොම හරි  අම්මල කල්පනා කළා ඉස්කෝලෙ ඇරුණම මේ සේරමලව ඉංග්‍රීසි පන්තියකට දාන්ඩ.. වැඩි දුරක් නෑ අල්ලපු වැටේ ශ්‍රියානි ආන්ටි ලගෙ ගෙදර...
ඉතිං මේ කට්ටියම ඉස්කෝලෙ ඇරිල යනව ඉංග්‍රීසි පන්තියට...
ජනූ මේ ඉංග්‍රීසි පන්තියට නං කැමති වුණා ( ඒ කියන්නෙ කලින් එකකට අකමැති වුණා කියන එක නෙ...  ඒ ගැන පස්සෙ ලියන්නං....)
මේ අලුත් ඉංග්‍රීසි පන්තියෙ බදාදට සිංගින් ඩේ එක... හැමෝම ශ්‍රියානි ආන්ටිගෙ පියානෝ එක වටේට එකතු වෙලා සින්දු කියනව...
ජනූට මේ සින්දු තාමත් මතකයි!!!!
ඉංග්‍රීසි පන්තිය ඉවර වෙලා අම්මල ජනූලව එක්කන් යන්ඩ එනකල් කට්ටියම සෙල්ලම් කරනව මිදුලෙ අඹගස් හෙවනෙ...
ඔන්න එක දවසක් ජනූ ළමයට අම්ම අරන් දුන්න අලුත් ස්කූල් බෑග් එකක්!!!මේක රතු පාට කොටු වැටිච්ච ලස්සන බෑග් එකක්...
ආ.... මේ වගේම එකක් මටත් තියෙනව
පහුවදා බෑග් එක දැකල හිරාන් කිව්ව!!
ඊලඟ දවසෙ එයත් ඒ බෑග්එකම අරන් ආව
හරි ජොලි!!!
එක වගෙම බෑග් දෙකක් පන්තියෙ!!!
දැන් ඔන්න ඉස්කෝලෙ ඉවර වෙලා කට්ටිය වෙනද වගේ ඉංග්‍රීසි පන්තියට ගියා... පන්තිය ඉවර වුණාම අඹ ගහ යටට සෙල්ලම් කරන්ඩ ආවම වෙනද වගේම බෑග් ගලවල ගාඩිනිය ගහ යට තියද්දි ජනූ ළමයට නිකමට වගෙ හිතුණ...
කවුරුහරි සෙල්ලමට මාරු කරයිද බෑග් දෙක කියල...
එහෙම හිතල ජනූ ළමය ගාඩිනිය ගහේ එහා පැත්තෙන් එයාගෙ බෑග්එක තියල සෙල්ලම් කරන්ඩ ගියා...
අම්මල ඇවිත් එක එක්කෙනාව අරන් ගියා...
හිරානුත් ගියා!!!
අම්ම ආවම ජනූ ළමය එයාගෙ බෑග් එක තිබුණ තැනින් අරගෙන යන්ඩ පිටත් වුණා...

ටොක්...ටොක්
ටොක් ටොක්

ජනූ ලමය අඩිය තියන ගානෙ පිටේ එල්ලල තියෙන බෑග් එකෙන් සද්දයක් ආව..
මොනවද චූටි පුතා බෑග් එකේ???
අම්මත් ඇහුව

අනේ දන්නෙ නෑ... මගෙ පැන්සල් පෙට්ටිය වෙන්ඩ ඇති නේද අම්මෙ??
වෙන්ඩ ඇති ... ඒත් උදේ ඔහොම සද්ද ඇහුණෙ නෑ නෙ??

 වෙන වෙන කතා නිසා ඒක දෙන්නටම මොහොතකින් අමතක වුණා....

අම්මේ!!!!
අනේ එන්ඩකෝ!!!!

හෝම් වර්ක් කරන්ඩ පොත් ගන්ඩ බෑග් එක ඇරපු ජනූ කෑ ගැහුව. එයාගෙ ඇස්වල කඳුලු පිරුණ...
කවුද මේ වැඩේ කළේ???
මොකද චූටි පුතා...??? අම්මත් ඇවිත්
අනේ අම්මෙ කවුරු හරි හිරාන්ගෙයි මගෙයි බෑග් මාරු කරල..
මම අරන් ඇවිත් තියෙන්නෙ හිරාන්ගෙ බෑග් එක... ජනූ ඇඬුම් හඬින් කිව්ව
අම්මට හිනා ගියා...
ඔයා මාරු කරල අරන් ආවද??
නෑ නෑ... මම හිතලම බෑග් එක ගලවල තිබ්බෙත් වෙන තැනක අම්මෙ... කවුරු හරි මාරු කරල අපි සෙල්ලම් කරන අතරෙ...
අනේ දැං මං මොකද කරන්නෙ??
කොහොමද මං හෝම්වර්ක් කරන්නෙ???
ආ... කොහොමද හිරාන් හෝම් වර්ක් කරන්නෙ???
නාමල් තමයි අම්මෙ මාරු කරන්ඩ ඇත්තෙ....
එයා තමයි දරක්කෙ අපි තැන් දෙකක බෑග් ගලවල තියෙනව...

ජනූ ළමය කියවගෙන කියවගෙන ගියේ හිතේ අමාරුවට...
පහුවදා උදේ ඉස්කෝලෙ යනකොට හිරාන් ඉන්නව මූණ මැලවිලා..

ඇයි ඔයා මගේ බෑග් එක අරන් ගියේ?
නෑ නෑ... මම අරන් ගියා නෙවෙයි..
මම වෙන තැනකනෙ බෑග් එක ගලවල තිබ්බෙත් ඇයි මතක නැද්ද??? කවුරු හරි ඒක මාරු කරල! මේ හරි හරි දැන් ඒවගෙන් වැඩක් නෑ ...එන්ඩ හෝම් වර්ක් කරන්ඩ..
මං ඔයාගෙ පොතේ හෝම් වර්ක් කළා...
හිරාන් කිව්ව..
මං හිතුව ඔයත් එහෙම කරයි කියල...
ආ එහෙනං එන්ඩ අපි දෙන්නම එකතු වෙලා ඔයාගෙ හෝම් වර්ක් ටික කරමු...

පස්සෙ කාලෙක ජනූ මේ කතාව හිරාන්ට මතක් කරද්දි එයාට මතක තිබුණෙවත් නෑ...
ඒත් හීනෙන් වගේ මතක් වෙනවලු එහෙම දෙයක් වුනා වගේ!!!!මේ කතාව අහල හිරාන් නං කිව්වෙ ජනූගෙ මතකය හරිම ඉහලයි කියල....
ඔයාල මොකද කියන්නෙ??

 පින්තූරෙ තිබුණෙ මෙන්න මෙතන - easygirlgames.com

Thursday, April 28, 2011

ජනූව බලන්ඩ ආවෙ කවුද????

ගොඩාක් දවසකිං ජනූ ළමය කතාවක් කියන්ඩයි යන්නෙ....
කට්ටියට ජනු ළමයව අමතක වෙලත් ඇති නේද දැං???
මේක ජනූ ළමය ම්..... පහ වසරෙදි  විතර වෙච්ච වැඩක්...
ජනූ ළමය පුංචි කාලෙම එයා ගොඩාක් ආදරේ කරපු එයාගෙ කිරි අම්ම දිවියලෝකෙ ගියානෙ...
රෑට නිදාගත්තෙත් කිරිඅම්ම ලඟ හිංද  ජනූ ළමයට හරීම දුකයි, පාලුයි...

අම්මෙ  දැං මං රෑට දොයියන්නෙ කා එක්කලද??
දැං ඉතිං හැන්දෑවට මල් පූජ කරන්නෙ කා එක්කද??

මතක් වෙන ගානෙ ජනූ අම්මගෙං ඇහුව...
අම්ම කිව්ව ජනූට මල්ලි බබා ලඟින් දොයියන්ඩ කියල.
හවසට මල් කඩාගෙන ඇවිත් කිරිඅම්ම කියල දීපු ගාත කියල බුදුන් වැඳල එයාට පින් දෙන්ඩ කියලත් අම්ම කිව්ව
ඉතිං ජනූ පුරුදු වුණා මල් කඩාගෙන ඇවිල්ල  තනියම බුදුන් වඳින්ඩ පුරුදු වුණා.
දැන් ගෙදර ගිය දවසක ඇරෙන්ඩ මල් පූජ කරන්නෙ නැති වුණාට මේ සිද්දිය වෙච්ච කාලෙ නං ජනූ ළමය හැමදාම හවසට බුදුන් වඳිනව...ගෙදර ඉස්සරහ හිටවල තිබුණ කහ පාට, තැඹිලි පාට දාස්පෙති මල්,  ලා රෝස පාටට පිපෙන ලොකුම ලොකු රෝස මල්, හෙන්දිරික්ක මල්, එක එක ජාතියෙ මල් ජනූලගෙ මිදුලෙ තිබුණ. ඉතිං එයා එක එක මෝස්තරේට මල් වට්ටිය හැදුව...
එක දවසක කහපාට දාස්පෙති එවුමයි, කැඹිලිපාට දාස්පෙති රවුමයි මැද්දෙ රෝස මලුයි,
තව දවසක කහ තැඹිලි දාස්පෙති මල් කලවමට...
ඒත් ජනූ ආසම කරපු මල් ගහක් තිබුණ ජනූගෙ වත්ත පහල කෝපි කැලේ ලඟ

ඒ මොනවද දන්නවද???
වතුසුද්ද මල්
වතු සුද්ද මල් කියන්නෙ කිරි ඉද්ද මලට වඩා ටිකක් ලොකු මලක්...
ඔයාල දැකල තියෙනවද දන්නෙ නෑ
හැබැයි වතු සුද්ද ගහ නං  කිරි ඉද්ද ගහ තරං ලොකුවට හැදෙන්නෙ නෑ..
අපේ වතුසුද්ද ගහ තිබුණෙ  කෝපි කැලේ ට කලින් පාර පැත්තට වෙන්ඩ තියෙන ලොකු වෙරලු ගහ යට පස් ගොඩැල්ල ලඟ...ජනූගෙ තාත්ත කිව්වෙ එතන ඉස්සර තාත්ත ඉස්කෝලෙ යන කාලෙ මැටි ගෙදරක් තිබුණලු... පස්සෙ කාලෙක ගෙදර පොලවට කඩාන වැටිල පස් ගොඩැල්ලක් ඉතුරු වුණාලු...
වතු සුද්ද මල හරිම ලස්සනයි...
කිරි සුදු පාටයි...පොඩි වැහි ඇල්ලක් වැටුනම ගහේ කොළ වැහෙන්ඩ මල් පිරෙනව
මල් වට්ටිය වැහෙන්ඩ සුදු පාට මල් කඩල පුජ කරන්ඩ ජනූ හරිම ආසයි...
ඔන්න මේ කතාවෙ තියෙන සිද්දිය වෙච්ච දවසෙත් ජනූ ලගෙ වත්ත පහල වතු සුද්ද ගහෙන් එකයි මල්!!!
ඉතං ජනූ මොකද කළේ මල් වට්ටියත් අරගෙන ගිහින් සින්දුවකුත් කියාගෙනම වතුසුද්ද මල් කඩල වට්ටියෙ අතුරන්ඩ පටන් ගත්ත
මල් පිබිදී ගෙන එන්නේ!!!
මද මද හිමිදිරි යාමේ!!!!
පුෂ්!!!!!!!!!!!!!!!!!!!!!!

මල්.... අහලිං ඇහිච්ච සද්දෙකට පොඩ්ඩක් විපරම් කරපු ජනූගෙ සින්දුව පොඩ්ඩක් නැවතුනා...
පිබිදීගෙන.... වටයක් කැරකිලා බැලුව...
එන්නේ!!!! ... හතර වටේම බැලුවට කවුරුත් නෑ වගේ....

ජනූ ආයෙත් මල් කඩන්න පටන් ගත්ත ( වතු සුද්ද මල් හරිද???)
 මෙන්න බලාගන්ඩලා


පුෂ්......................! පුෂ්!!!!!!!!!!!!!!!!!!!
ඒ පාර ටිකක් සද්දෙන්ම ඇහුණ... ජනූ කෝකටත් අඩියක් දෙකක් පස්සට ගියා.
පුෂ්!!!!!!! ඒ පාර සද්දෙ ඇහුණෙ එයාගෙ කකුල් ලඟින්මයි
ජනූ බිම බැලුව...

අයියෝ තාත්තේ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

දැකපු බිහිසුණු දර්ශනයෙන් හොඳටම කලබල වෙච්ච ජනූ බෙරිහන් දුන්න.මල් වට්ටිය විසි වුණා..
කබර පැටියේක්!!!!!!!!!!!!!!!!!!!
මට කන්ඩ හදනෝ!!!!!!!!!!!!!!!!!
ජනූගෙ පය පාමුල ඉඳල පෑගෙන්නෙ නැතිව අනූ නවයෙන් බේරුණ කබර පැටියෙක් වගේ සතා ඉස්සරහට පැන පැන ජනූව හපන්ඩ හදනව....

අනේ ඉක්මනට එන්ඩකෝ!!!
තාත්තේ!!!

මොකද බොල මේ කෑ ගහන්නෙ???
ඈත ඉඳල තාත්තගෙ සද්දෙ ඇහුණ

අනේ තාත්තෙ කබර පැටියෙක් මට කන්ඩ හදනව
අනේ උගෙ පිටේ කටු කටුත් තියෙනවහොම්බත් දිගම දිගයි...
දතුත් ගොඩා..............ක් තියෙනව
මූ මාව කාල දාවි  අනේ තාත්තේ!!!!!!!!!!!!!

මොකද මේකිට වෙලා තියෙන්නෙ මේ...???බෙරිහන් දෙන්නෙ??
තාත්ත එන බව දැනුණම නං  යාන්තං ජනූ සද්දෙ නැවැත්තුව..
සතාටත් වැඩේ තේරුණා... දැන් එයත් බලන් ඉන්නව ඊලඟට ජනූ මොතද කරන්ඩ යන්නෙ කියල
ඈ...............!

 ජනූගෙ ඔලුව ඇතුලෙ එක පාරටම විදුලියක් තෙටුව...
කබරයින්ගෙ පිටේ කටු නෑ නෙ..
ඇරත් හොම්බ දිග දත් උල්වට තියෙන්නෙ නෑ නෙ???
දෙයියනේ මූ කිඹූලෙක් නේද???
තාත්තේ!!!!!!!!!!!!!!!!!!
අනේ ඉක්මනට එන්ඩෝ!!!!!!!!!!!!
කිඹුලේක්... කිඹුලේක්
මූ කිඹුලෙක්!!!!

මේ කෑ ගැහිල්ලට කිඹුලටත් තරහ ගියා ඒ විතරක්යැ පැන පැන බල්ලෙක් වගේ ජනූට හපන්න හැදුව
දැන් ජනූ දන්න වෙට්ටු දාල කිඹූලගෙන් බේරෙන්ඩ හදනව
මේ කෙල්ලෙ බේගල් නොකිය හිටු... කලිං කබර පැටිය ඒ පාර කිඹූලෙක් වුණේ කොහොමද??
ඔන්න තාත්තත් ඇවිත්
අප්පට සිරි... මූ කිඹුල් පැටියෙක් නේන්නං... මෙහෙ කොහෙද කිඹූල්ලු??
ඒකනෙ තාත්තට කිව්වෙ මම
මූ කිඹුලෙක් කියල තාත්තනෙ පිලි ගත්තෙ නැත්තෙ
මේ කයිවාරුව තියල ගිහින් අරන් එනව පෝර කවරෙකුයි මද්දක් හදන්ඩ ලණුවකුයි

ජනූ දිව්ව.. කියපු දේවල් අරන් ආව
තාත්ත ලණූ මද්දක් හදල  පැය බාගයක් විතර මහන්සි වෙලා කිඹුලව අල්ලන්ඩ හැදුවත් බැරි වුණා...
අන්තිමට කිඹුල් පැටියටම එපා වෙලා ඌ මද්ද ඇතුලට ඔලුව දැම්ම
තාත්ත පටස් ගාල ඌව අල්ලල පෝර කවරෙට දාගත්ත
හපොයි දෙයියනේ විනාඩි පහක් ගියේ නෑ... මුලු ගමම අපේ ගෙදර මිදුලෙ කිඹූල් පැටියව බලන්ඩ

තාත්තෙ මූට කන්ඩ දෙන්නෙ මොනවද අපි???
කිඹුලගෙ ප්‍රදර්ශන අයිතිය සින්නක්කර පවරගෙන හිටපු මල්ලි  බබා ඇහුව..

බත් දෙමු..
කිඹුලයි මායි කන බත්...!
නෑ හාල්මැස්සො දෙමු....
නෑ නෑ...........ඌට දෙන්ඩ ඕනෙ මස් නෙ
එකී මෙකී නොකී ගොඩක් ජාති දැම්මත් කිඹූල් පැටිය නෙවෙයි කටේ තිබ්බෙ...
දැන් අපි මූට දාන නම මොකද්ද තාත්තෙ?
මල්ලි බබාගෙ කල්පනාව කිඹුලව ගෙදර තියාගන්ඩ වගේ එයාගෙ ප්‍රොක්ටර් සහ ගැම්බල් පූසො දෙන්න වගේ
මම ක්‍රවුන් ෆීල්ඩ් හොටෙල් එකට කතා කළා.. එයාල ලඟ දැනටමත් කිඹුලො ගොඩක් ඉන්නවලු... ඒත් ගේන්න කියල කිව්ව.. සේරමල සූ එකට දෙන කතාවකුත් කිව්ව...
අනේ අම්මෙ කිඹුල් පැටියව එහෙට දෙන්ඩ එපා.. එයාලගෙ ටැංකිවල කිඹුලො ගොඩාක් ඉන්නව ඒ ගොල්ලො අපේ කිඹුල් පැටියව කයි.. ඒ මල්ලි බබා...
දැන් ජනූට හරි තරහයි...
කිඹුල් පැටියව ඉස්සෙල්ලම දැක්කෙ කවුද??
ජනූ නෙ...
ඒ කියන්නෙ කිඹුල් පැටිය ආවෙ කාව බලන්ඩද??
ජනූව බලන්ඩනෙ..
දැන් මේ කට්ටිය එයාගෙන් අහන්නෙවත් නැතුව කිඹුල් පැටියව එහාට මෙහාට දෙන්ඩ කතාව..!!
දුවේ .. ආං අර කවුද කට්ටියක් ඇවිත් කතා කරනව... කිඹුල් පැටිය ගැනයි අහන්නෙ...
ආ මොකද මේ කට්ටිය??? මොකද්ද උවමනාව??
මේ... මහත්තය අපි සර්කස් එකක් කරන කට්ටියක්.  
අපි ලඟ හිටිය කිඹුල් පැටියෙක් අපේ රිලා පැටියත් එක්ක සෙල්ලං කරන කිඹුල් පැටිය
ඉතිං....??
පහු ගිය දවසක අපි නාරම්මල සර්කස් එක ඉවර වෙලා මේ පාරෙන් ගියා ගිහින් බලන කොට කිඹුල් පැටිය නෑ....අපි නොහෙව්ව තැනක් නැති තරං!!
එහෙම හොයන කොට තමයි මහත්තය අපිට ආරංචි වුණේ මෙහෙ කිඹුල් පැටියෙක් ඉන්නවයි කියල
ඒකයි බලන්ඩ ආවෙ.. ඒ අපේ කිඹුල් පැටිය වෙන්ඩ පුලුවන්..
ම්..... තාත්ත බර කල්පනාවක.....
හ්ම්.. දැං ඔය නැති වුණා කියන කිඹුල් පැටිය සර්කස් කිඹුල් පැටියෙක් කිව්වනෙ.. එහෙනං මොනව හරි විශේෂ දේවල් ඇතිනෙ අඳුන ගන්ඩ...?
ඔවු මහත්තය විස්ල් කලාම ඌ ලඟට එනව...!!
මල්ලි බබයි ජනූයි ඇස් දෙක උඩ තියාගෙන!!
ඈ .... ඒ මෙයාලගෙ කිඹුල් පැටියද???
ආ පොඩ්ඩක් ඉමුකො එහෙනං බලන්ඩ...
අම්මයි තාත්තයි දෙන්න පොඩ්ඩක් ඇතුලට ගිහින් කතා කලා...
ආයෙමත් එළියට ඇවිත්
ආන්න අර ලිඳ ලඟට ගිහින් විසිල් කරන්ඩ කො එහෙනං කිව්ව
එක සර්කස් මාම කෙනෙක් තාලෙට විසිල් කලා තාත්ත ලිඳ ට ටිකක් එහායින් තිබුණු බැරල් බාගෙ ලගට ගියා..
ජනූයි මලයයිත් පස්සෙන් දිව්ව!!!
මෙන්න බොලේ  කිඹුල් පැටිය විසිල් සද්දෙට එයාව දාල හිටපු වතුර බැරල් එක පුරා ම දඟලන්ඩ පටන් ගත්ත!!
තාත්ත බැරල් එක ඇල කරල වතුර ටික හැලුව.. කිඹුල් පැටිය බැරල් එකෙන් එළියට ඇවිත් විසිල් මාම හොයාගෙන ගියා...
තමං හම්බකරගෙන කන සතා නේද?? උංගෙ පරිස්සමත් බලන්ඩ ඕනෙ නෙ..
මීට පස්සෙවත් ඔය සත්තුන්ට හොඳට කන්ඩ බොන්ඩ දීල බලාගන්නවල.. දැං එය සතා පාරෙ ඉඳල වාහනේකට එහෙම අහු වුණා නං මොකද වෙන්නෙ?
මෙහෙම කියල තාත්ත සර්කස් මාමලට කිඹුල් පැටියව ගෙනියන්ඩ අවසර දුන්න!!!
ශහ්!!! මම දැනගෙන හිටියෙ නෑනෙ කිඹුල් පැටියට විසිල් කරාම ලඟට එන්න දන්නව කියල!!
මල්ලි බබා  කිව්ව!!
අම්මටයි තාත්තටයි දෙන්නම  ඒ කතාව අහපු වෙලාවෙ නං හිනාව නවත්තගන්ඩ බැරි වුණා!!!
ජනූ ට නං හරි දුක හිතුන..
ඔන්න ඕක තමයි ජනූව බලන්ඩ ආව කිඹුල් පැටියගෙ කතාව!!
මේ පහළ ඉන්නෙ ජනූගෙ ගෙදර ආව කිඹුල් පැටිය







කෝ දැං කියන්ඩ බලන්ඩ ඔයාලව බලන්ඩ ආවෙ කවුද???


  





 මේ පින්තූර ජනූට හම්බ වුණේ මෙන්න මෙතනින්
moviebase.schokolade.tv
mcjimleather.com