Friday, October 14, 2011

බුල්ටෝ හාමි නිසා ගැලවුණු ජනූගෙ දත් හාමි...!!!!


ඉතිං කොහොමද යාලුවනේ.....???
ජනූගෙ කතා කියවන්න ඔයාල කාලෙක ඉඳල බලන් ඉන්නව කියල නං ජනූ දන්නව.
ඒත් ඉතිං පුංචි කාලෙ වගේ අම්මල කන්ඩ බොන්ඩ හදල දෙනකල් බලන් ඉන්ඩ විදියක් නෑනෙ දැන්....!! රස්සාවක් කරන්ඩ, සල්ලි හොයල මල්ලි බබා එක්කල එක කාමරේක නතර වෙලා එයාටයි මල්ලි බබාටයි කන්ඩ බොන්ඩ උයන්ඩ, තව කොච්චර නං වැඩද එයාට...
ඉතිං දවසිං දවස පහු වුණා කතාවක් ලියන එක....
එහෙනං ඔන්න අහන්ඩ කො අද මොකද්ද ජනූට වෙලා තියෙන්නෙ කියල....
ඔන්න ඉතිං ජනූයි මල්ලි බබයි අම්මයි තාත්තයි ගමේ ගිහින් අර පැට්‍රොමැක්ස් එකේ පැලපීය අල්ලපු කතාව ඔයගොල්ලො දන්නවනෙ...... මේ වැඩේ වුණෙත් ඔහොම ගමේ ගිහින් එහෙ නතර වෙලා හිටිය කාලෙක තමා....
අපේ ජනූට පුංචි කාලෙ ඉඳලම පුරුද්දක් තියෙනව හැම දේටම පණ කියෙනව කියල හිතන.....
ජනූට මේ ලෝකෙ පණ නැති කිසිම දෙයක් නෑ.....!!!
ජනූ වැඩ කරද්දි කම්පියුටර් එකත් එක්ක කතා කරන හැටි අහන් හිටපු ජනූගෙ යාලුව රූ          බබා දවසක් කිව්ව....
හිතල බලපුවාම ඒක ඇත්ත තමයි.... ජනූ වැඩ කරද්දි කම්පියුටර් එක එක්ක කතා කරනව නේන්නං.....
ආ....න්න එහෙම හොඳ ලමයෙක් වගේ මගෙ ෆයිල් එක සේව් කරගන්ඩ කම්පියුටර් හාමි ..... අනේ ඔන්න ස්ටක් වෙන්ඩ නං එපා හරිද??? මං මේ ලොකු වැඩක් කර කර නෙ ඉන්නෙ..... තේරෙනවද කම්පියුටර් හාමිට???
ජනූගෙ එහා පැත්තෙන් ඉඳගෙන ඉන්න ආශා අක්කට නං පිස්සු හැදිල ආයෙත් හැදෙනව ඇති ජනූගෙ මේ වැඩ වලට..... එහෙම කිව්වට ජනූ නෙවෙයි පොඩ්ඩක් වත් සැලෙන්නෙ......
එයාට යස අගේට හැම පුටුවක් මේසයක් බිත්තියක් එක්කම වුණත් කතා කරන්ඩ පුලුවං....
හිඟන්නෙක්ට වුණත් නම්බු දීල කතා කරන්ඩ ඕනෙ කියල ජනූගෙ අම්ම එයාට කියල දීලනෙ තියෙන්නෙ...
 ඉතිං ජනූ එයාගෙ පණ තියෙන නැති හැමදේකටම කතා කළේ “හාමි“ කියල කෑල්ලක් එක්ක....
බලු හාමි, හඳ හාමි, බලල් හාමි, රිලා හාමි, නරිහාමි,
පූටු හාමි, කම්පියුටර් හාමි, ලැප්ටොප් හාමි, ෆෝන් හාමි, කුමාරිහාමි.... වැරදුනා වැරදුනා.... අපේ පොඩි කුමාරිහාමිව මතක් වෙලානෙ එහෙම කිව්වෙ..... කවුරුත් විහිලු කරන්නෙ එහෙම නෑ එයාට හරිද??
ඔන්න ඉතිං අරකිව්ව විදියට ගමේ ගිහිල්ල අපි කට්ටිය ඇහැලියගොඩ ඉන්න අපේ ලොකු චූටි මාමලගෙ ගෙදර ගියා....
එහෙ යන්ඩ තමා ජනූ කැමතිම....
ඇයි???
කඩේ විකුණන්ඩ තියෙන ටොපි ‍චොක්ලට්, බුල්ටෝ සේරම ලොකු චූටි මාම දෙනවනෙ ජනූට කන්ඩ හිතේ හැටියට....
ඔය ළමයට ඔය තරම් පැණි රස දෙන්ඩ එපා මල්ලි.... ජනූගෙ අම්ම ලොක චූටි මාමට කෑගහනව....
කියන කාලෙ ජනූ  ඉස්කෝලෙ එක වසරෙ විතර.... යාලුවො සේරමල පෙරහැරක් පිටිපස්සෙන් ගිහින් දත් නැති කරගෙන එන කාලෙ....
එයාලගෙන් ආ.... පෙරහැරක් පිටිපස්සෙන් ගියාද??? කියල ඇහුවාම එයාලට තරහ යන හැටි දැකපු ජනූට පුදුම හිතුණ....
පෙරහැරක් පස්සෙන් මං කවදාවත් ගිහින් නෑනෙ???  ඇයි මේ කට්ටිය එයාලට හිනාවෙන්නෙ??? එයාලට ඇයි ඉතිං ඔය තරම් තරහ යන්නෙ එහෙම කිව්වාම....? පෙරහැරක් පස්සෙන් ගියාම හරි ශෝක් නෙ....
ඔන්න ඔහොම එව්ව තමා ජනූට හිතුණෙ....
ඔන්න දවසක් දා කඩේ විකුණන්ඩ තියෙන කතන්දර පොත් රාක්කෙ ලඟ කැරකි කැරකි ඉන්න ජනූට බුල්ටෝ බඩගින්නක් හැදුන....
එයා කඩේ කැෂියර් වෙච්ච ලොකු චූටි මාම ලඟට ගිහින් පොඩ්ඩක් එහාට මෙහාට ගියේ ජනූට බුල්ටෝ එකක් දුන්නොත් හොඳයි නේද කියල එයාට නිකං හරි හිතෙයි ද බලන්ඩ....
 ඒත් මොකක්දෝ වැඩක හිර‍වෙලා හිටපු ලොකු චූටි මාමට නං ජනූ ආව කියල ගාණක්වත් ගියේ නෑ ඔන්න....
මාමෙ......
මාමෙ.......
සද්දයක් නෑ...ජනූගෙ මූණ ටිකක් ඇද වුණා.... ඔච්චරටම ඇහෙන්නෙ නැද්ද මාමගෙ කණ??
ලොකු චූටි මාමෙ......??
ආ...... ආ........ඇයි දූ??? මොකද???
එක පාරටම මාම උත්තර දුන්නාම ජනූ  උත්තර දී ගන්ඩ බැරිව හිර වුණා....
මේ මේ.... මේ.... බු බු... බු බු....
බුල්ටෝද????? බෑ බෑ... හපෝ බෑ ... මට අක්කගෙන් බැනුම් අහන්ඩත් වෙයි.... ඔයාට පැනිරස කවනව වැඩියි කියල අක්ක මට ඊයෙත් දොස් කිව්වනෙ.... දැන්නං බෑ....
ලොකු චූටි මාම උත්තර දුන්නෙ එයා කර කර හිටපු වැඩෙන් ඔලුව උස්සන්නෙවත් නැතුව....
ජනූ ගෙ මූණ හොඳටම ඇද වුණා....
අපෝ මෙයාගෙ තියෙන ලොකු කම... ඕන්නෑ ඔයාගෙ බුල්ටො...
ජනූ මාමත් එක්ක තරහ වෙලා එතනින් ඈතට ගියා... ආයෙමත් රාක්කෙ ලඟට ගිහින් පොතක් අරන් කියවන්ඩ පටන් ගත්ත .....
ට්ක වෙලාවක් ගත වුණා.... ඔලුව උස්සල බලපු ජනූ දැක්කෙ මොකද්ද??

කැෂියර් එකේ කවුරුත් නෑ....!!!!
සීනි බෝල ටොෆි චොක්ලට් දාපු ලස්සන පාට පාට බෝතල් ඒක වටේ පිරිල
ජනූ හෙමින් හෙමින් වට පිට බල බලා කැෂියර් එක ලඟට කිට්ටු කළා
වටපිට බැලුව... කවුරුත් නෑ වගේ පේන්ඩ....
ටක් ගාල බුල්ටෝ බෝතලේ ඇරල බුල්ටෝ එකක් ගත්ත ජනූ ආපහු තමන් හිටපු තැනට දිව්ව....
ඔතල තිබුණ සවු කඩදාසිය ගලවල ඉස්සෙල්ලම බැලුවෙ ඒක ඇතුලෙ තිබුන ස්ටිකර් එක මොකද්ද කියල තමයි...
ලස්සන පූස් හාමියෙක් තමා ස්ටිකර් එකේ හිටියෙ....
ජනූ ඒක ගවුම් සාක්කුවෙ දාගෙන බුල්ටෝ එක කෑ‍ව....
දැන් ඔය කියවන අපේ යාලුවො කවුද බුල්ටෝ කාල තියෙන්නෙ???
අත උස්සන්ඩ බලන්ඩ??
බුල්ටෝ කියන්නෙ පුංචි කොටකෑල්ලක් වගේ සවු කඩදාසියක ඔතල තියෙන හයියම හයිය ටොෆියකට... ලොකු චූටි මාම ඉස්සිස්සෙල්ලාම බුල්ටෝ එකක් දීල කිව්ව කතාව තාමත් ජනූට මතකයි....
දුව බැරි වෙලාවත් මේක හැපුවොතින් සිද්ධ වෙන දේ දන්නව ද???
දත්වල ඇලිල හරිම ජරමරයක් වෙනව.... ඒ හන්ද හපන්ඩ නං එපා.... සූප්පන්ඩ....
හා................   ජනූත් හොඳ ළමය වගේ ඔලුව හෙම වැනුව!!
දැං නං ජනූ  හරි පණ්ඩිත හාමි වගේ මෙහෙම කියයි.... ඒ වුණාට  එයාට වෙච්ච වැඩේ ඔයාල දන්නෙ නෑනෙ ඔය හොරකම් කරපු බුල්ටෝ එක හපන්ඩ ගිහින්....
ඔන්න ඉති ජනූ පොත කියවන ගමන් බුල්ටෝ එක කන්ඩ පටන්ගත්ත කියමුකො....
ජනූලගෙ අම්ම  හැමතිස්සෙම ජනූලට කියල තියෙන්නෙ ටොෆියක් වගේ හයිය දෙයක් කවන කං ඉස්සෙල්ලාම ඒක හපන්ඩ කියල... මෙහෙම කරන්නෙ ජනූ ටොෆිය උගුරෙ හිර කරගනීවි කියන බයටනෙ... ඉතිං අපරාදෙ කියන්ඩ බෑ ජනූ අකමැත්තෙන් වුණත් ඒ වැඩේ කරනව....
දැන් බුල්ටෝ එක කටේ ඒ මේ අත රෝල් කර කර සූප්පු කර මින් ඉන්න අතරෙ ජනූට ඉබේම මේ බුල්ටෝ එක හැපුණ...
හප්පොච්චියේ....  හක්කෙ දත්වල බුල්ටෝ එක ඇලුණ....
දැන් මොකද කරන්නෙ??? ජනූ බීරන්තට්ටු වුණා.....
දිවෙන් එහාට මෙහාට කරල ඇලිච්ච බුල්ටෝ එක ගලවන්ඩ බැලුව ...
හරී........යාන්තං ගැලවුණා..... ආයෙමත් ජනූ බුල්ටෝ එක රෝල් කරන්ඩපටන් ගත්ත...
අපොයි ඒ පාර බුල්ටෝ එක ගිහින් ඇලවුණේ හෙලවි හෙලවි තිබුණ යට ඇන්දෙ දතක...
ඒ පාර නං ටිකක් තදට ඇලිල වගේ... දිවෙන් එහා මෙහා කරල බුල්ටෝ එක ගලව ගන්ඩ හැදුවත් බැරි වුණ තැන ජනූ බුල්ටෝ එක අතින් ඇදල ගලවන්ඩ හැදුව...
ම්හ්......... හෙල්ලෙන්නෙවත් නෑ....
ඒ පාර නං ජනූ පුලුවන් වීරිය දාල බුල්ටෝ එක අතින් ඇද්ද
දත් පාරවල් වැදිල ඇදවෙච්ච බුල්ටෝ එක ගැලවිලා ජනූගෙ අතට ආව....
හ්ම්.... විසිකරන්ඩත් දුකයි....
ආයෙමත් වටපිට බලපු ජනූ බුල්ටෝ එක කටට දාගත්ත....

ඒ පාර නං බුල්ටෝ එක තවත් ලොකු වෙලාද මන්ද???
හැපෙන්නෙ නැති කෑල්ලකුත් තියෙනව නෙ මේකෙ...
මෙහෙම හිත හිතා අමුත්තක් දැනිල බුල්ටො එක ආයෙමත් අතට අරන් බලනකොට තමයි ජනූ දැක්කෙ වෙලා තිබුණ විනාසෙ.....
හපොයි!!!!

බුල්ටෝ එක ජනූගෙ දතක් ගලවල!!!!
දත ඇලිල තියෙනව බුල්ටෝ එකේ....
ඒක දැකපු ගමන් ජනූ විලාප තිබ්බ සද්දෙට ලොකු චූටි මාමයි අම්මයි කට්ටියම ආව....
කට්ටියටම හරිම හිනා වෙච්ච වැඩේට...
කොහෙන්ද ඔයාට බුල්ටෝ??? මම කිව්වනෙ කන්ඩ එපා කියල???? දැන් දැක්කනෙ වෙච්ච දේ??
අම්ම සැර වුණා....
මමයි දුන්නෙ අක්කෙ.... ලොකු චූටි මාම හීන් හඩින් කියද්දි ජනූ හැඬුම් අස්සෙන් ඔලුව උස්සල බැලුව එයා දිහා....
අනේ අම්මෙ ආයෙ එතනින් දතක් එයිද??
දැන් දූ ඔය දත අරගෙන ගිහින් ලේනෝ ලේනෝ  මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ කියල වහලෙට වීසි කරන්ඩ... එතකොට අලුත් දතක් හම්බ වෙයි....
ඇහැලියගොඩ ආච්චි අම්ම කිව්ව....හවස් අතේ ලොකු චූටිමාමත් එක්ක කඩේ මිදුලට ගිය ජනූ ලේනට දත වීසී කලා...
ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ!!!!! කියල
ඒ විතරක් නෙවෙයි ආයෙ කවදාවත් හොරකම් කරන්නෙ නෑ කියල ලොකු චූටි මාමට පොරොන්දුත් වුණා....
ඔන්න ඔහොමයි බුල්ටෝ හාමි ජනූ හාමිගෙ දත් හාමි ගැලෙව්වෙ
නිවාඩුව ඉවර වෙලා ඉස්කෝලෙ ගියාම නං ජනුට තේරුණා පෙරහැරක් පස්සෙං යාමේ විපාක මොනවද කියල!!!
දැක්ක නේද ළමයි හොරකම් කළාම වෙන දේ???  
දැං ඔය ළමයින්ට මේ කතාවෙන් ගන්ඩ තියෙන ආදර්ශෙ මොකද්ද???
හා කියමු බලන්ඩ කවුරුත් එක්කල.....


පින්තූරෙ හම්බ වුණේ මෙන්න මෙතනින් : letitbesaid.com