Tuesday, September 4, 2012

ජනූ ද මැජික් ගර්ල් සහ මල්ලී ද ගල ගිලපු බෝයි..!!!




මෙන්න බලන්ඩ මං මේ ගල බෙල්ලෙන් දාල කටෙන් ගන්නව!!

කානේශයි,පියුමියි,  ජීවනියි, හිරානුයි, සුරංගයි තව සමීර මල්ලියි නිවාඩු දෙන දවසෙ කලින් ඉස්කෝලෙ ඇරිල අම්මලගෙ ඉස්කෝලෙට පයින් එන අතරෙ බිමට නැවිල ගලක් අහුල ගත්ත සුරංග එයාගෙ සුපුරුදු මැජික් සන්දර්ශනේ පටන් ගත්ත...

ඔන්න මං දැං මේ ගල  බෙල්ල පිටිපස්සෙන් උගුරට දානව

මෙහෙම කියල අත් දෙකම උස්සල බෙල්ල ලඟට අරගත්ත සුරංග ගල බෙල්ල පිටිපස්සෙන් උගුරට දැම්ම....
ඒක දාද්දි එයා වේදනාවෙන් ඇඹරුණා...

ඇත්ත නේන්නං ....! බෙල්ල හිල් කරගෙන ගලක් උගුරට යද්දි කාටද ඉවසං ඉන්ඩ පුලුවං??

ඊට පස්සෙ සුරංග අමාරුවෙන් වගේ දෙතුන් පාරක් එක අතක් නවල කට ලඟට අරන් දෙතුන් පාරක් කැස්ස හන්ද ගල උගුරට ආව කියල තේරුණාම ජනූලගෙ කටවලුත් ඇරුණ....
ඊට පස්සෙ සුරංග ඒ නැවිච්ච අතේ මහපටැඟිල්ල උඩු දත් ඇන්දෙ යට පැත්තෙන් තියල එක පාරටම පැන්නුවම අර බෙල්ලෙන් දාපු ගල කටින් විසිවුණා...!!

ජනූ ගෙ ඇස් අර ගලත් එක්කම අර්ධ කවාකාරව උඩ පහල ගියා!!!
මේක නං ජනූ කොහොම හරි අල්ලගන්ඩ ඕනෙ වැඩක්...
මොකද ඒ දවස්වල ජනූගෙ ප්‍රියතම විනෝදාංශය තමයි ඔය වගෙ ඇස්බැන්දුං මල්ලි බබාට පෙන්නල ඒව කරන විදිය කියල දෙන්නෙ නැතුව එයා අඬන කොට හිනා වෙන එක...
සුරංගගෙ මැජික් එකට හැමෝටම හරිම පුදුමයි!!

ආයෙ කරන්ඩකො!!!

පියුමි කිව්ව...
අපෝ බෑ මැජික් කරන්නෙ එක පාරයි...

සුරංග අගේ පෙන්නුව...

ඒ කොහොමද ඔයා ඒ ගල බෙල්ලෙන් ඇතුළට දැම්මෙ??

ම්හු!! ඒක රහසක් නෙ.. මැජික් කියන එව්ව එහෙම හැමෝටම කියල දෙන්නෙ නෑ... මමත් මේක ඉගෙන ගත්තෙ අපේ දසුන් අයියගෙන්  එයාට ජිල් බෝල දහයක් දීල!!

ඇයි එතකොට අත් දෙකම පස්සට අරගත්තෙ??

මොනව වුණත් ජනූට සැකයි මේ වැඩේ වෙච්ච විදිය නං

ඇයි අත් දෙකම ඕනෙනෙ... නැතුව කොහොමද හම ඇතුලෙන් ඒ ගල රිංගවල බෙල්ල ඇතුලට දාන්නෙ
අනේ.... අනේ අනේ  අනේ අනේ...!

මේ අතරෙ අනිත් අයගෙ සද්දෙ ටික ටික වැඩි වුණාම සුරංග ආයෙම පාරක් මැජික් බලෙන් බෙල්ලෙන් දාපු ගල කටින් අරන් පෙන්නන්ඩ කැමති වුණා!!
හැබැයි ඒ වතාවෙ විමසිල්ලෙන් හිටපු ජනූ දැක්ක සුරංග අත් දෙකම බෙල්ල පිටිපස්සට අරන් බෙල්ල ඇතුලට ගල රිංගවනව කියල කිව්වට ඇත්තටම කරන්නෙ අතේ වැලමිට ලඟ ඇතුල් පැත්තෙ ඒක හංගගන්න එක කියල....
ඊට පස්සෙ බොරුවට ඒ අත කට ලඟට අරන් දෙපාරක් බොරුවට කැහැල අර ඇඟිල්ල පන්නපුවාම වෙන්නෙ අර හංගපු ගල උඩින් විසි වෙලා යන එකනෙ..
ඒක විසිවෙන්නෙ කටෙන්ද කොහෙන්ද කියල ඉතිං එකපාරටම අඳුනගන්ඩ අමාරුයි නෙ කාට වුණත්!!

හරියට හරි!!! දෙන්නං වැඩේ ගෙදර ගිහින්!!

සද්ද නොකර මීය වගේ බලන් හිටපු ජනූ හිතුව

ඊලඟ දවසෙ ජනූල අම්මලගෙ ගමේ ගියා නෙ... ඉතිං මේ මැජික් එක ආයෙ ජනූට මතක් වුනේ ගමේ ගෙදර මිදුලෙ ජම්බු ගහ යට තිබුණු වැලි ගොඩේ මල්ලි බබා එක්ක සෙල්ලං කර කර ඉන්නකොට දැකපු රවුං ගල් කැටයක් දැක්කමයි

මල්ලි... මේ මං ඔයාට මැජික් එකක් පෙන්නන්ඩද??

හා!!!!

මල්ලි බබත් ඒවට නං පැනල එන්නෙ

ඔන්න  මං මේ ගල අරන් බෙල්ලෙන් දාල කට ඇතුලෙන් අරගන්ඩයි යන්නෙ..

ඈ.....??

මල්ලි බබාගෙ ඇස් ජිල් බෝල දෙකක් වගේ වුණා.. .කට ඇරුණ හරියට ජනූගෙ කිඹුල් පැටියගෙ කට වගේ!!
ඊට පස්සෙ වෙච්ච දේවල් ඉතිං අමුතුවෙං කියන්ඩ දෙයක් නෑ.

ජනූ බොහොම පරිස්සමෙන් දන්න ශිල්ප සේරම දාල, රඟපාල ගල් කැටේ බෙල්ලෙන් දැම්ම උගුරට
ඊට පස්සෙ දෙපාරක් කැස්ස...

ඊට පස්සෙ හොඳට හරිබරි ගැහිල එක පාරටම ඇඟිල්ල පැන්නුව දත් ඇන්දට තියල...

උගුරෙන් දැම්ම ගල් කැටේ කට ඇතුලෙන් විසිවෙනව දැක්ක මල්ලි බබා ජනූගෙ පස්සෙන් වැටුණ

ඒක කළේ කොහොමද අක්කෙ??

ආ.... එහෙම කියල දෙන්නෙ නෑ මැජික්!!

අනේ අක්කෙ

අපෝ බෑ....


අනේ!!!

බෑ කිව්වනෙ... කොච්චර කිව්වත් බෑ තමයි

මං අම්මට කියනව එහෙනං ඔයා  එදා නෙස්ටොමෝල්ට් හොරෙන් කෑව කියල..

ආ එහෙම කිව්වොත් ඉතිං කවදාවත්ම කියල දෙන්නෙ නෑ.. අනික මං විතරක් නෙවෙයි නෙ.. ඔයත් කෑවනෙ මීපැනි හොරෙන්...

ඔන්න ඔහොම ඒකෙන් මේකට මේකෙන් ඒකට කතාව මාරු වෙවී ගිහින් අන්තිමට මල්ලි බබා බෑඟිරි ගහ ගහ අඬන්ඩ ගත්ත!!
සද්දෙට ගමේ ආතත් ආව බුලත් කොරටුවෙ වැඩ දාල

ඇයි පුතේ මේ අඬන්නෙ??

අක්ක කියල දෙන්නෙ නෑ මට මැජී................ක්!!!!

මෙන්න මෙහෙ එන්ඩ යන්ඩ... එයාගෙ මැජික් තියාගන්ඩ කියන්ඩ එයාටම...
අන්න බුලත් කොරටුවට මීමින්නෙක් ඇවිල්ල... අපි යං එයාව බලන්ඩ..පොඩි ළමයව අඬවනව මෙතන
ගමේ ආත ජනූට  ඔරවල මල්ලිත් ඇදගෙන ගියා

හැන්දෑකරේ අම්ම ගෙයි ඉස්සරහ පඩියෙ ඉඳගෙන ජනූගෙ කොන්ඩෙ පීරන ගමන් මිදුල කෙලවරේ කරාඹු ගහ ගාව කැරකි කැරකි හොරගල් අහුලන මල්ලි බබා දිහා ඇහැ ගහගෙන උන්න...

අනේ!!! අම්මේ!!!!!!!!!!! ගිලුණා!!! ගිලුණා!!!

එක පාරටම මල්ලි බබාගෙ මහ සද්දෙට අම්ම නැගිටල දිව්ව එයා දිහාට...
කඳුලු පෙරි පෙරී ඔය ඉන්නෙ මල්ලි බබා කරාඹු ගහ යට....

කෝ මොනවද පුතේ ගිලුණෙ??

ගල් කැටේ!!!

හුටා!!! වැඩේ වැරදුණා ජනූට හිතුණ...

දැන් ඉතිං මං කාපං ගුටි!!!

ජනූට අංජනං දේවි පෙන්නුං කළේ ඊලඟ විනාඩි කීපය ඇතුලේ හොඳ රහට කෝටු පාරක් වදින බව තමයි

ඈ...... ගල් කැටයක් ඇයි කටේ දැම්මෙ....

මැජික් පෙන්නන්ඩ......ඇයි අක්ක බෙල්ලෙන් දාල කටෙන් ගත්තෙ ගලක්!!!
මාත් එහෙම කළා!!!

අම්ම ජනූ දිහා රවල බලපු බැලිල්ලට ජනූ ගෙ මූණ ඇද වුණා!!
හරියට වවුලො කාපු කජු පුහුලම වගේ

අද නං ඉතිං ජනූ ගුටි කනව සිකුරුයි!!!

මේ කලබලේ ඇහිල ආච්චි අම්මත් එළියට බැහැපි.. ආතත් ආපි
ආත මල්ලිව කරේ තියන් අඩියට දෙකට පඩිපළ බැහැල ගඟ ලඟට ගියේ ඔරුවට හූ කියන ගමන්මයි....කෙලින්ම ගියේ කරවනැල්ලෙ ඉස්පිරිතාලෙට....

මල්ලි බබා අඬනව දැක්කම, ඒක අහං ඉන්ඩ බැරි තරං විලාපයක් වුණාම නං ජනූට හිතුණෙ
අපරාදෙ මට ඒක මල්ලි බබාට පෙන්නන්ඩයි තිබුණෙ කියල...

හෙට උදේට කක්ක එක්ක පිට වුණොත් හරි.. නැත්තං ආයෙමත් බලන්ඩ වෙනව කිව්ව

නින්දට නැතුව හොරෙන් නිදි වගේ  හිටිය ජනූට අම්ම එහෙම ආච්චි අම්මට කියනව ඇහුණ...

මේ කෙල්ලගෙ වැඩ නෙ... මැජික් පෙන්නන්ඩ කියල මොකක් හරි සුකුරුත්තමක් කරන්ඩ ඇති... ඒක කරන්ඩ ගිහින් තමයි පොඩි එකා ගල කටේ දාගෙන තියෙන්නෙ...

පොඩි එකීට බනින්ඩ ගහන්ඩ එපා... පොඩි වයසෙ ඔහොම තමා!!

‍වෙච්ච සංගදිය දැනගෙන කොළඹ ඉඳන් ගමේ ගෙදර ආපු තාත්ත අම්මට කියනවත් ජනූට ඇහුණ

අනේ මගෙ මල්ලි බබාට මොනව හරි වුණොත්!!

ජනූගෙ ඇස්වලින් කලුවරේම කඳුලු බේරුණා

අනේ ඒ ගල කක්ක එක්ක එලියට එන්ඩ!!!

ජනූ දන්න ගාථා සේරම හිතෙන් මතුරල ප්‍රාර්ථනා කළා

ඊ ලඟ දවසෙ උදේ කක්ක බෙට්ටක් එක්ක එලියට ආපු ජිල්බෝලෙකටත් වැඩිය ලොකු ගල දැකල ගෙදර හැමෝම ප්‍රීති ඝෝෂා පැවැත්තුව

ඔයා මොකටද ගල ගිලින්ඩ ගියේ?? මං ඒ ගල ගිලිනව වගේ පෙන්නුවෙ බොරුවටනෙ.... ඒක මෙන්න මෙතන හංගගන ඊට පස්සෙ නොපෙනෙන්ඩ විසි කරන එකනෙ කරන්නෙ...

ජනූ  ඊට පස්සෙ හොරෙන්ම මල්ලිගෙන් ඇහුව

ඉතිං ඔයා මට කියල දුන්නෙ නෑ නෙ කලිං... මං හිතුවෙ ගල ගටේ දාගෙන තමයි එහෙම විසි කරන්නෙ කියල... අර ඔයා එහෙම බෙල්ලෙන් ගල උගුරට දාල  කැස්සෙ...
ආන්න ඒ වගේ මාත් ඒක කටේ දාල කහිනකොටම ඒක ගිලුණ!!!

මල්ලි කිව්ව

මොකද දෙන්න පුටු පුටු ගාන්නෙ....ඒ පාර මොකක්ද  බෙල්ලෙන් දාල කටිං ගන්ඩ හදන්නෙ??
හැබැයි මීට පස්සෙ නං එක එක එව්ව ගිලල අඬාගෙන එන්ඩ එපා රජෝ...
ඔහොම සුටුස් ගාල එළියට එන එකක් නං කමන්නෑ නැත්තං ඉතිං බඩ පලල තමයි අරගන්ඩ වෙන්නෙ එළියට...

තාත්ත දෙන්නගෙ පයුරුපාසානම දැකල මහ හයියෙන් හිනා වෙවී කිව්ව!!!
ජනූගෙ මැජික් සන්දර්ශනේ ඉවර වුණේ ඔන්න ඔහොමයි!!

අදත් ජනූගෙ පින්තූරෙ සඳහා අනුග්‍රහය මෙන්න මෙතනින්

Tuesday, August 14, 2012

ජනූ සහ ධර්මරත්න ආන්ටිගෙ ඉංග්‍රීසි පන්තිය..!!!




ජනූ බබයි, කානේශ බබයි, පියුමි බබයි, අත් අල්ලගෙන බලන් හිටියෙ පොලිස් නැන්ද හා ඔන්න පාර පනින්ඩ කියල අතින් කියනකල්
වාහන නැවතිලා කනිෂ්ටෙ ඉස්සරහ කහ ඉරෙන් පාර පැන්න තුන් දෙනා ඇවිදගෙන ගියා
වෙනදට ජනුයි එයාගෙ යාලුවො ටිකයි දොළහ හමාරට කණිෂ්ටෙ ඇරුණම කෙලින්ම එන්නේ අම්මලගෙ ඉස්කෝලෙට....
එතන ඉල අම්මලට ඉස්කෝලෙ ඇරෙන කල්ම ඉස්කෝලෙ ලොකු බුදු මැදුරට පිටිපස්සෙ ගලට වෙලා සෙල්ලං කරනව... බුදු මැදුර අස්සෙ හැංගිමුත්තන් කරනව...
මේ නැටිලිවලින් කට්ටිය තුවාලයක් වත් කරගත්තොත් කියල අම්මල කතා වෙලා ජනූලව ඉස්කෝලෙ ඇරුණම ඉංග්‍රීසි පන්තියකට යවන්ඩ තීරණය කරගත්ත...
මේ ඉංග්‍රීසි පන්තිය තියෙන්නෙ ලොකු ඉස්කෝලෙ අල්ලපු වැටේ....ඒක කරන්නෙ ධර්මරත්න ආන්ටි... එයා ඉස්සර ඉංග්‍රීසි ටීච කෙනෙක්ලු.. හැබැයි හරිම සැරයි ලු...
ඔන්න ඉතිං කලින් දවසෙ කානේෂගෙ අම්මයි පියුමිගෙ අම්මයි තව හිරාන් ගෙ අම්මයි කට්ටියම එක්ක ධර්මරත්න ආන්ටිලගෙ ගෙදරට ගිහින් ඉංග්‍රීසි පන්තිය ගැන කතා කරගත්ත ලු....
හෙට ඉස්කෝලෙ ඇරුණම කානේශයි පියුමියි එතක්ක පරිස්සමට පාර පැනල ධර්මරත්න ආන්ටිලගෙ ගෙදරට යන්ඩ චූටි පුතා....
අම්ම ගෙදර ඇවිල්ල ඩබල් රූල්පොතකුයි, සිංගල්රූල් පොතකුයි පිටකොල හෙම දාල ජනූට දීල කිව්ව..
ජනූල ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම හිටියෙ වසම වස පාට මාම!!!
එයා කෝපි ගස් අස්සෙන් ආන්ටිගෙ ගෙදරට වැටිල තියෙන පාර අතු ගාන ගමන් ජනූලව පිලිගත්තෙ රවල...
වෙනදට ජනූල ඉස්කෝලෙ ඇරිල යනකොට වස මාම ආන්ටිගෙ වත්තෙ වැඩ කර කර ඉන්නව...
ජනුල ආසාවට වත්තෙ වැට මායිමේ පිපිල තිබුණ මලක් හෙම කඩාගන්ඩ ගියොත්
ඒයි ඒයි... ඔය ළමයි මොකද්ද ඔය කරන්නෙ... ඉන්නවල මං එන්නං අල්ලගන්ඩ කියල උදැල්ල පැත්තක දාල වැට ලට දුවගෙන එනව...
ඉතිං ජනූල දුවනව
වැටේ තිබුණු ගහක පාර පැත්තට පිපිල තිබුණු මලක් කඩාගත්තට වස මාම එච්චර සැර කරන එක වැරදියි කියලයි ජනූට හිතුණෙ...
මී පැටවු තුන් දෙනෙක් වගේ බිම බලාගෙන වස මාමට ඈතින් පෝලිමට එතන පහු කරපු තුන් දෙනා පන්තියට ගියා...
පන්තිය කිව්වට ඒක ඒ ගෙදර ලස්සනට තණ කොළ වවපු මිදුලෙ කෙළවරේ තිබුණු සමර් හට් එකක්!
ඒකෙ වටේට උස බංකු තිබුණ... වටේට වාඩි වෙලා ඉන්ඩ...
ඊට එපිටින් තිබුණෙ ගෙඩි පුරවගෙන ඉන්න වෙරලු ගහ...
ආ ඔයාලත් ආවද??
ජනූලට කලින් පන්තියට ඇවිල්ල හිටිය මනෝජි අක්ක කිව්ව....
ජීවනිත් ඇවිල්ල!!!

කට්ටිය බංකු උඩින් ඉගෙන පොත් එලියට ගන්නකොටම හිරානුත්  ආව...එයාගෙ අක්ක සුරන්මලීත් ඒ එක්ක ඇවිල්ල හිටිය..
ඔන්න ටිකකින් ධර්මරත්න ආන්ටි එලියට ආව...
එයා හිටියෙ අත් නැති මල් මල් ගවුමක් ඇල, හරියට ගමනක් යන්ඩ ලෑස්ති වෙලා වගේ සපත්තුත් දාල හිටිය කොන්ඩෙ මුදුනෙන් ගැටයක් වගේ හිටින්ඩ බැල...
කන්නාඩි දෙක මාලයක් වගේ බෙල්ලෙ එල්ලගෙන...
ආන්ටිව දැක්ක විතරයි ජනුයි යාලුවො ටිකයි හොට හරි බරි ගැහිල ඉගත්ත....පන්තිය පටං ගන්ඩ යද්දි පිලිවෙලට ඉන්ඩ එපැයි
මනෝජී......... මේ ළමයි ඛවුද?
සමර් හට් එකට ආන්ටි බෙල්ල වටේ තිබුණ මාල කන්නාඩිය ඇස් දෙකට දමා ගන්න ගමන් ඇහුව...
අම්මල ඊයෙ ඇවිල්ල කියල ගියා කිව්ව ආන්ටිගෙ පන්තියට අපිව ගන්ඩ කියල...
කානේශ කිව්ව...
ආ........ ඛිව්ව තමයි ඛිව්ව තමයි  ... ඒ වුණාට මේ ළමයි මේ තරම් පොඩි කියල මට දන්නෙ නෑනෙ...
කෝ අම්ම එක්කෙනෙක්වත් ආවෙ නැද්ද??
ආන්ටිගෙ අමුතු සිංහල කතාව හන්ද එන හිනාව තද කරගෙන ජනුයි එයාගෙ කානේෂයි පියුමියි තුන් දෙනාම ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්ඩ...
එහෙම බෑ නෙ....එයාල එන්ඩ තමයි ඕනෙ ෆස්ට් ඩේ!!!
ජනූල මූණෙං මූණ බලාගත්තෙ එයා කියන දේ තේරිලා නෙවෙයි කියල ආන්ටිට තේරුණා...
හා හා.. . කමක් නෑ... ගන්ඩ පොත් එලියට...ඩබල් රූල් පොත් ටික පාස් කරන්ඩ මා ගාවට
ආන්ටි ඩබල් රූල් පොත් ටිකේ මොනවද ලිව්ව...
හා දැං මේවගෙ සිම්පල් ලෙටර්ස් ලියන්ඩ... මෙහෙම කියල පොත් ටික ජනූලට බෙදල දීපු ආන්ටි ආයෙමත් ගේ ඇතුලට ගියා...
ජනූ පොත දිග ඇරිය...
කැපිටල් ඒ අකුරෙ ඉල එච් අකුරු වෙනකල් කියවගන්ඩ ජනූට පුලුවං වුණා...
එතනිං එහා අකුරු ජනූ දන්නෙ නෑ...
ඒ මදිවට දැං මේ කරන්ඩ කියල ගිය දේ නං තේරෙන්නෙම නෑ...
ඔයාට තේරෙනවද කිව්ව දේ??
ජනූ කානේශගෙන් ඇහුව...
නෑ.. කානේශ ඹලුව වැනුව...
පියුමිත් බර කල්පනාවක..
ඇයි ඔයාල ලියන්නෙ නැද්ද??
අපි දන්නෙ නෑ ...
ආ.... දැන් ආන්ටි ඇවිල්ල බනියි ඔයාල ලියල නැති වුනාම...මෙහෙම ලියන්ඩ
ඔය කැපිටල් අකුරුවල  සිම්පල් අකුරු ටික ලියන්ඩ යි ඕනෙ...

එහෙම කියල මනෝජි අක්ක එයාගෙ පොතේ අන්තිම පිටුවෙ පැන්සලෙන් ජනූලට ලියල පෙන්නුව කැපිටල් ඒ අකුර යටින් සිම්බල් ඒ අකුර..
ජනූට සිම්පල් අකුරු දැකල මතක තිබුණට ඒව හරියට අුනගෙන හිටියෙ නෑ.... මේ ඒ අකුර මේ බී අකුර කියල
ජනූගෙ මූණ ඇද වුනා...
මේ මොන පන්තියක්ද
අපි දන්නෙවත් නැති වැඩ අපිට දීල ආන්ටි පැත්තකවත් නෑ!!!
හපොයි අම්මල අපිව දාපු අමාරුවක් මහත!!!
එයා වටපිට බැලුව
කානේශත් පොත දිහා බලාන භාවනා කරනව...
හිරාන්ගෙ ඇස්වල කඳුලුත් ඇවිල්ල
ජීවනී නං අකුරු දෙකක්ද තුනක් ද ලියල...
පියුමි විතරක් සමර් හට් එකේ වහලෙ පිදුරු අස්සෙන් මේසෙට වැටුණු කූඹියට එයාගෙ කෝදුව උඩට නංගගන්ඩ දඟලනව...
මේක හරි යන්නෙ නෑ  අපි යමුද??
ජනූ හෙමින් සැරේ කානේශගෙන් ඇහුව
හා!!
කානේශටත් වැඩේ එපා වෙලා වගේ!!!

මාත් එනව එහෙනං!!!
ඒ හිරාන්
අනේ මාත් එනව... මටත් බෑ ඉන්ඩ තනියම
පියුමිත් ලෑස්ති වුණා
මට නං බෑ යන්ඩ!! අම්ම මට බනියි හොඳටම....ඔයාල කොහෙද යන්ඩ යන්නෙ.... ජීවනී ඇහුව
අම්මලගෙ ඉස්කෝලෙට...
ජනූ එහෙම කියන ගමන් පොත් ටික බෑග් එකේ දාගත්ත...
නංගි ඔයාල යන්ඩ එපා.. ඉන්ඩ
දැං ආන්ටි ආවොත් නං ඔයාලට හොඳටෝම බනියි!! එයාට තරහ යයි...
මනෝජි අක්ක කිව්ව
කමක් නෑ....මේ අකුරු ලියන්ඩ අපි දන්නෙ නෑ නෙ... අපි යනව ඒ හින්ද....
මෙහෙම කියල කානේශයි පියුමියි හිරානුයි එක්ක ජනූ පිටත් වුණා ක්ලාස් එකෙන්!!
වස මාම වත්තෙ වැඩ කරන ගමන් ඇස් කරකවල බැලුව ළමයි යන දිහා
කට්ටියම පිටත් වෙලා ඉස්කෝලෙ පිට්ටනිය මැද්දෙන් එක එක්කෙනාගෙ අම්මල ඉන්න තැන්වලට ගියා
ජනූ සංගීත කාමරේට
කානේශ ගෘහ විද්‍යාගාරෙට
පියුමියි හිරානුයි මේන් ලැබ් එකට

පුදුමයට පත් වෙච්ච හැමෝගෙම අම්මල ඇහුවෙ එකම ප්‍රශ්නෙ
ඇයි ආවෙ?? ආන්ටිට කියලද ආවෙ??
කට්ටියම දුන්නෙත් එකම උත්තරේ
එයා අපිට කියල දෙන්නෙවත් නැතුව වැඩ දුන්න.. ඒව කරන්ඩ බැරි හන්ද අපි ආපහු ආව
අම්මලට හිනා!!!
පස්සෙ ජනූලට ආරංචි වුණා...
ධර්මරත්න ආන්ටි ආපහු ඇවිල්ල බලද්දි ජනූල නෑ නෙ...  එයා හොඳටම බය වෙලා!!!
පස්සෙ එයා මනෝජි අක්කගෙන් විස්තරේ දැනගෙන
ජනූලටයි අම්මලටයි සේරෝටම බැන්නලු... හැබැයි පස්සෙ ජනූලව ආයෙ එවන්ඩ කියල කියල එව්වලු
වීරයො වගේ පැනල ගියාට මොකද වැඩේ කියන්නෙ ජනූල ඉස්කෝලෙ ඇරිල අම්මලගෙ ඉස්කෝලෙට යන්ඩ ඕනෙ ධර්මරත්න ආන්ටිගෙ වත්ත ලඟින්නෙ...
ඉතිං අමුතුවෙං කියන්ඩ ඕනෙ නෑනෙ ඒ සිද්ධියෙං පස්සෙ ජනුයි එයාගෙ කට්ටියයි සේරම වත්ත ලඟින් යන්නෙ දුවගෙන... කියල
කාලයක් යනකල් අම්මලගෙ ඉස්කෝලෙ උගන්නන අම්මලගෙ යාලු අංකල්ල ජනූලට හිනාවුණා
අන්න ධර්මරත්න ආන්ටි ඔයාල එනකල් වැට ලඟ බලං ඉන්නව කියල
ඔන්න ඔහොමයි ජනූගෙ ඉංග්‍රීසි පන්තිය!!!


කාලෙකින් ඔන්න ආව!!!

ජනූට ලියන්ඩ කම්මැලියි ළමයි!!
නැතුව ඔයාල අමතක වෙලා නෙවෙයි!!
ලියනව නං කතන්දර නැතුවත් නෙවෙයි!!!


පින්තූරෙ හම්බ වුනේ මෙන්න මෙතනිං