Tuesday, August 14, 2012

ජනූ සහ ධර්මරත්න ආන්ටිගෙ ඉංග්‍රීසි පන්තිය..!!!




ජනූ බබයි, කානේශ බබයි, පියුමි බබයි, අත් අල්ලගෙන බලන් හිටියෙ පොලිස් නැන්ද හා ඔන්න පාර පනින්ඩ කියල අතින් කියනකල්
වාහන නැවතිලා කනිෂ්ටෙ ඉස්සරහ කහ ඉරෙන් පාර පැන්න තුන් දෙනා ඇවිදගෙන ගියා
වෙනදට ජනුයි එයාගෙ යාලුවො ටිකයි දොළහ හමාරට කණිෂ්ටෙ ඇරුණම කෙලින්ම එන්නේ අම්මලගෙ ඉස්කෝලෙට....
එතන ඉල අම්මලට ඉස්කෝලෙ ඇරෙන කල්ම ඉස්කෝලෙ ලොකු බුදු මැදුරට පිටිපස්සෙ ගලට වෙලා සෙල්ලං කරනව... බුදු මැදුර අස්සෙ හැංගිමුත්තන් කරනව...
මේ නැටිලිවලින් කට්ටිය තුවාලයක් වත් කරගත්තොත් කියල අම්මල කතා වෙලා ජනූලව ඉස්කෝලෙ ඇරුණම ඉංග්‍රීසි පන්තියකට යවන්ඩ තීරණය කරගත්ත...
මේ ඉංග්‍රීසි පන්තිය තියෙන්නෙ ලොකු ඉස්කෝලෙ අල්ලපු වැටේ....ඒක කරන්නෙ ධර්මරත්න ආන්ටි... එයා ඉස්සර ඉංග්‍රීසි ටීච කෙනෙක්ලු.. හැබැයි හරිම සැරයි ලු...
ඔන්න ඉතිං කලින් දවසෙ කානේෂගෙ අම්මයි පියුමිගෙ අම්මයි තව හිරාන් ගෙ අම්මයි කට්ටියම එක්ක ධර්මරත්න ආන්ටිලගෙ ගෙදරට ගිහින් ඉංග්‍රීසි පන්තිය ගැන කතා කරගත්ත ලු....
හෙට ඉස්කෝලෙ ඇරුණම කානේශයි පියුමියි එතක්ක පරිස්සමට පාර පැනල ධර්මරත්න ආන්ටිලගෙ ගෙදරට යන්ඩ චූටි පුතා....
අම්ම ගෙදර ඇවිල්ල ඩබල් රූල්පොතකුයි, සිංගල්රූල් පොතකුයි පිටකොල හෙම දාල ජනූට දීල කිව්ව..
ජනූල ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම හිටියෙ වසම වස පාට මාම!!!
එයා කෝපි ගස් අස්සෙන් ආන්ටිගෙ ගෙදරට වැටිල තියෙන පාර අතු ගාන ගමන් ජනූලව පිලිගත්තෙ රවල...
වෙනදට ජනූල ඉස්කෝලෙ ඇරිල යනකොට වස මාම ආන්ටිගෙ වත්තෙ වැඩ කර කර ඉන්නව...
ජනුල ආසාවට වත්තෙ වැට මායිමේ පිපිල තිබුණ මලක් හෙම කඩාගන්ඩ ගියොත්
ඒයි ඒයි... ඔය ළමයි මොකද්ද ඔය කරන්නෙ... ඉන්නවල මං එන්නං අල්ලගන්ඩ කියල උදැල්ල පැත්තක දාල වැට ලට දුවගෙන එනව...
ඉතිං ජනූල දුවනව
වැටේ තිබුණු ගහක පාර පැත්තට පිපිල තිබුණු මලක් කඩාගත්තට වස මාම එච්චර සැර කරන එක වැරදියි කියලයි ජනූට හිතුණෙ...
මී පැටවු තුන් දෙනෙක් වගේ බිම බලාගෙන වස මාමට ඈතින් පෝලිමට එතන පහු කරපු තුන් දෙනා පන්තියට ගියා...
පන්තිය කිව්වට ඒක ඒ ගෙදර ලස්සනට තණ කොළ වවපු මිදුලෙ කෙළවරේ තිබුණු සමර් හට් එකක්!
ඒකෙ වටේට උස බංකු තිබුණ... වටේට වාඩි වෙලා ඉන්ඩ...
ඊට එපිටින් තිබුණෙ ගෙඩි පුරවගෙන ඉන්න වෙරලු ගහ...
ආ ඔයාලත් ආවද??
ජනූලට කලින් පන්තියට ඇවිල්ල හිටිය මනෝජි අක්ක කිව්ව....
ජීවනිත් ඇවිල්ල!!!

කට්ටිය බංකු උඩින් ඉගෙන පොත් එලියට ගන්නකොටම හිරානුත්  ආව...එයාගෙ අක්ක සුරන්මලීත් ඒ එක්ක ඇවිල්ල හිටිය..
ඔන්න ටිකකින් ධර්මරත්න ආන්ටි එලියට ආව...
එයා හිටියෙ අත් නැති මල් මල් ගවුමක් ඇල, හරියට ගමනක් යන්ඩ ලෑස්ති වෙලා වගේ සපත්තුත් දාල හිටිය කොන්ඩෙ මුදුනෙන් ගැටයක් වගේ හිටින්ඩ බැල...
කන්නාඩි දෙක මාලයක් වගේ බෙල්ලෙ එල්ලගෙන...
ආන්ටිව දැක්ක විතරයි ජනුයි යාලුවො ටිකයි හොට හරි බරි ගැහිල ඉගත්ත....පන්තිය පටං ගන්ඩ යද්දි පිලිවෙලට ඉන්ඩ එපැයි
මනෝජී......... මේ ළමයි ඛවුද?
සමර් හට් එකට ආන්ටි බෙල්ල වටේ තිබුණ මාල කන්නාඩිය ඇස් දෙකට දමා ගන්න ගමන් ඇහුව...
අම්මල ඊයෙ ඇවිල්ල කියල ගියා කිව්ව ආන්ටිගෙ පන්තියට අපිව ගන්ඩ කියල...
කානේශ කිව්ව...
ආ........ ඛිව්ව තමයි ඛිව්ව තමයි  ... ඒ වුණාට මේ ළමයි මේ තරම් පොඩි කියල මට දන්නෙ නෑනෙ...
කෝ අම්ම එක්කෙනෙක්වත් ආවෙ නැද්ද??
ආන්ටිගෙ අමුතු සිංහල කතාව හන්ද එන හිනාව තද කරගෙන ජනුයි එයාගෙ කානේෂයි පියුමියි තුන් දෙනාම ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්ඩ...
එහෙම බෑ නෙ....එයාල එන්ඩ තමයි ඕනෙ ෆස්ට් ඩේ!!!
ජනූල මූණෙං මූණ බලාගත්තෙ එයා කියන දේ තේරිලා නෙවෙයි කියල ආන්ටිට තේරුණා...
හා හා.. . කමක් නෑ... ගන්ඩ පොත් එලියට...ඩබල් රූල් පොත් ටික පාස් කරන්ඩ මා ගාවට
ආන්ටි ඩබල් රූල් පොත් ටිකේ මොනවද ලිව්ව...
හා දැං මේවගෙ සිම්පල් ලෙටර්ස් ලියන්ඩ... මෙහෙම කියල පොත් ටික ජනූලට බෙදල දීපු ආන්ටි ආයෙමත් ගේ ඇතුලට ගියා...
ජනූ පොත දිග ඇරිය...
කැපිටල් ඒ අකුරෙ ඉල එච් අකුරු වෙනකල් කියවගන්ඩ ජනූට පුලුවං වුණා...
එතනිං එහා අකුරු ජනූ දන්නෙ නෑ...
ඒ මදිවට දැං මේ කරන්ඩ කියල ගිය දේ නං තේරෙන්නෙම නෑ...
ඔයාට තේරෙනවද කිව්ව දේ??
ජනූ කානේශගෙන් ඇහුව...
නෑ.. කානේශ ඹලුව වැනුව...
පියුමිත් බර කල්පනාවක..
ඇයි ඔයාල ලියන්නෙ නැද්ද??
අපි දන්නෙ නෑ ...
ආ.... දැන් ආන්ටි ඇවිල්ල බනියි ඔයාල ලියල නැති වුනාම...මෙහෙම ලියන්ඩ
ඔය කැපිටල් අකුරුවල  සිම්පල් අකුරු ටික ලියන්ඩ යි ඕනෙ...

එහෙම කියල මනෝජි අක්ක එයාගෙ පොතේ අන්තිම පිටුවෙ පැන්සලෙන් ජනූලට ලියල පෙන්නුව කැපිටල් ඒ අකුර යටින් සිම්බල් ඒ අකුර..
ජනූට සිම්පල් අකුරු දැකල මතක තිබුණට ඒව හරියට අුනගෙන හිටියෙ නෑ.... මේ ඒ අකුර මේ බී අකුර කියල
ජනූගෙ මූණ ඇද වුනා...
මේ මොන පන්තියක්ද
අපි දන්නෙවත් නැති වැඩ අපිට දීල ආන්ටි පැත්තකවත් නෑ!!!
හපොයි අම්මල අපිව දාපු අමාරුවක් මහත!!!
එයා වටපිට බැලුව
කානේශත් පොත දිහා බලාන භාවනා කරනව...
හිරාන්ගෙ ඇස්වල කඳුලුත් ඇවිල්ල
ජීවනී නං අකුරු දෙකක්ද තුනක් ද ලියල...
පියුමි විතරක් සමර් හට් එකේ වහලෙ පිදුරු අස්සෙන් මේසෙට වැටුණු කූඹියට එයාගෙ කෝදුව උඩට නංගගන්ඩ දඟලනව...
මේක හරි යන්නෙ නෑ  අපි යමුද??
ජනූ හෙමින් සැරේ කානේශගෙන් ඇහුව
හා!!
කානේශටත් වැඩේ එපා වෙලා වගේ!!!

මාත් එනව එහෙනං!!!
ඒ හිරාන්
අනේ මාත් එනව... මටත් බෑ ඉන්ඩ තනියම
පියුමිත් ලෑස්ති වුණා
මට නං බෑ යන්ඩ!! අම්ම මට බනියි හොඳටම....ඔයාල කොහෙද යන්ඩ යන්නෙ.... ජීවනී ඇහුව
අම්මලගෙ ඉස්කෝලෙට...
ජනූ එහෙම කියන ගමන් පොත් ටික බෑග් එකේ දාගත්ත...
නංගි ඔයාල යන්ඩ එපා.. ඉන්ඩ
දැං ආන්ටි ආවොත් නං ඔයාලට හොඳටෝම බනියි!! එයාට තරහ යයි...
මනෝජි අක්ක කිව්ව
කමක් නෑ....මේ අකුරු ලියන්ඩ අපි දන්නෙ නෑ නෙ... අපි යනව ඒ හින්ද....
මෙහෙම කියල කානේශයි පියුමියි හිරානුයි එක්ක ජනූ පිටත් වුණා ක්ලාස් එකෙන්!!
වස මාම වත්තෙ වැඩ කරන ගමන් ඇස් කරකවල බැලුව ළමයි යන දිහා
කට්ටියම පිටත් වෙලා ඉස්කෝලෙ පිට්ටනිය මැද්දෙන් එක එක්කෙනාගෙ අම්මල ඉන්න තැන්වලට ගියා
ජනූ සංගීත කාමරේට
කානේශ ගෘහ විද්‍යාගාරෙට
පියුමියි හිරානුයි මේන් ලැබ් එකට

පුදුමයට පත් වෙච්ච හැමෝගෙම අම්මල ඇහුවෙ එකම ප්‍රශ්නෙ
ඇයි ආවෙ?? ආන්ටිට කියලද ආවෙ??
කට්ටියම දුන්නෙත් එකම උත්තරේ
එයා අපිට කියල දෙන්නෙවත් නැතුව වැඩ දුන්න.. ඒව කරන්ඩ බැරි හන්ද අපි ආපහු ආව
අම්මලට හිනා!!!
පස්සෙ ජනූලට ආරංචි වුණා...
ධර්මරත්න ආන්ටි ආපහු ඇවිල්ල බලද්දි ජනූල නෑ නෙ...  එයා හොඳටම බය වෙලා!!!
පස්සෙ එයා මනෝජි අක්කගෙන් විස්තරේ දැනගෙන
ජනූලටයි අම්මලටයි සේරෝටම බැන්නලු... හැබැයි පස්සෙ ජනූලව ආයෙ එවන්ඩ කියල කියල එව්වලු
වීරයො වගේ පැනල ගියාට මොකද වැඩේ කියන්නෙ ජනූල ඉස්කෝලෙ ඇරිල අම්මලගෙ ඉස්කෝලෙට යන්ඩ ඕනෙ ධර්මරත්න ආන්ටිගෙ වත්ත ලඟින්නෙ...
ඉතිං අමුතුවෙං කියන්ඩ ඕනෙ නෑනෙ ඒ සිද්ධියෙං පස්සෙ ජනුයි එයාගෙ කට්ටියයි සේරම වත්ත ලඟින් යන්නෙ දුවගෙන... කියල
කාලයක් යනකල් අම්මලගෙ ඉස්කෝලෙ උගන්නන අම්මලගෙ යාලු අංකල්ල ජනූලට හිනාවුණා
අන්න ධර්මරත්න ආන්ටි ඔයාල එනකල් වැට ලඟ බලං ඉන්නව කියල
ඔන්න ඔහොමයි ජනූගෙ ඉංග්‍රීසි පන්තිය!!!


කාලෙකින් ඔන්න ආව!!!

ජනූට ලියන්ඩ කම්මැලියි ළමයි!!
නැතුව ඔයාල අමතක වෙලා නෙවෙයි!!
ලියනව නං කතන්දර නැතුවත් නෙවෙයි!!!


පින්තූරෙ හම්බ වුනේ මෙන්න මෙතනිං