Wednesday, February 2, 2011

ජනූගෙ කෝපි කැලේ වීරකම්....!

මේ ලියන්ඩ යන්නෙ ජනූ බබාට වෙච්ච ඇබැද්දියක් ගැන.
හැබැයි මේක කියවල කවුරුහරි එයාට හිනා වෙලා තිබුණොත් එහෙම තමයි එයා බලාගන්නෙ ඔක්කොමල ගැන....
ජනූ බබා ඉතිං ඉපදිච්ච දවසෙ ඉඳලම සංගීතෙට හරිම ලැදියි නෙ...
ජනූ ඉතිං ඉපදිලා තියෙන්නෙත් සප්තකේ කියාගෙනමනෙ...

මෙහෙම කිව්වෙ ජනූගෙ කැම්පස් යාලුවෙක් වුන හේමන්...

ඉතිං කොහොම හරි ඔන්න ජනූ බබා ඉස්කෝලෙ යන්ඩ පටන් අරන් කියවන්ඩ එහෙම පුලුවන් වුණාම සංගීත ගුරුතුමී අම්ම ජනූට කවි පොත්, කතන්දර පොත් ගොඩාක් ගෙනත් දුන්නනෙ....
ඔය පොත් අතරෙ ජනූ ගොඩාක් කැමති පොතක් තිබුණ..
ඒකෙ තිබුණෙ ලස්සන ජන කවි...
කළගෙඩි නැටුමට කියන කවි, ලී කෙළි කවි, මේවර කවි, එලුවන් කෑම, මේ හැම ජාතියකම කවි ඒ පොතේ තිබුණා.
ජනූට ඉතිං මේ කවිවල තාල අමුතුවෙන් ඉගෙනගන්ඩ දෙයක් තිබුනෙ නෑනෙ.
ඇයි.. සංගීත ගුරුතුමී ඉස්කෝලෙ අයියල අක්කලට උගන්නනකොට අහලෙන ඉඳල යස අපූරුවට ඒ තාල මතකයිනෙ.
හැබැයි ගෑණි බොරු ලැජ්ජකාරි....
ඔය කවිවලට කොච්චර කැමති වුණත්, තාලෙට ලස්සනට ගයන්ඩ පුලුවං වුණත්, ඉස්කෝලෙදි කිසිම සබකෝලයක් නැතිව කවි සින්දු කිව්වත්, අම්මයි තාත්තයි ඉස්සරහ වුණත් එව්ව කියන්ඩ ලැජ්ජයි...
ජනූලගෙ ගෙදර පල්ලමේ තිබුණනෙ පොඩි කෝපි කැලයක් මේ කැලේ මැදින් මහ පාර අයිනෙන් ගලාගෙන එන වතුර වත්ත හරහා යන නිසා වැහි කාලෙට විතරක් ගලන ඇළක් තිබුණා. උඩහ වතු හෝදගෙන ගලාගෙන එන වතුරත් එක්ක ඇවිත් මේ කෝපි කැලේ තැන්පත් වෙච්ච සුදු වැලි නිසා මේ කෝපි කැලේ ජනූට සෙල්ලම් කරන්ඩ කියලම හදාපු තැනක් වගේ...කෝපි මල් පිපෙන කාලෙට ගස්වල මල් පිපිල සුවඳේ බෑ... ඒ විතරක්ද කොලපාට කෝපි ගස් සුදු පාට කෝපි මල්වලින් පිරුණාම  සිංහල අවුරුද්දට ආච්චි අම්මට තෑගි දෙන්ඩ ගෙනාව චීත්ත රෙද්ද වගේ හරි ලස්සනයි.
ඒ විතරක්ද... ඔය විවිධාකාර ලස්සන ලස්සන දේවල් හම්බවෙනව නෙ කෝපි කැලේ සුදු වැල්ලෙන්...
එක දවසක් ලස්සන කොන්ඩ කටුවක්....!
තවත් දවසක පිඟන්මැටිවලින් හදපු කලු පාට ඇඟේ සුදු තිත් තියෙන පුංචි බලු පැටියෙක්
ඉතිං කට්ටිය ඉස්සරහ කවි කියන්ඩ ලැජ්ජ හින්ද ජනූ මොකද දන්නවද කරන්නෙ.....?
එයා යනව එයාගෙ කවි පොතයි රිදී පාට පුංචි කළෙයි අරන් ඔය කෝපි කැලේට.
ගිහිල්ල මහා හයියෙන් කවි කියනව....
අහසට පිඹිනා එරන් කළේ යා
පොළවට පිඹිනා බූමි කලේ යා
රන් මසු දහසක් වටින කළේයා
නොබිඳින් නෑනෝ මගේ කළේයා

තාන තනා තම්දෙ නා තම්දෙනානා
තෙතන තනා තම්දෙ නා තම්දෙනානා
පොත දිගඇරල බිම තියල... ඒකෙ චිත්‍රයට නගල තියෙන රෙද්දකුයි හැට්ටෙකුයි ඇඳල ඉන්න ලස්සන පුංචි ගෑනු ළමයගෙ උකුලෙ තියන් ඉන්න කළේට වඩා ලස්සනට මෝස්තර ඇඳපු ලස්සන කළයක් තමන්ට තියෙනව කියල හිතාගෙන තාලෙට අඩි තිය තිය අතකින් කළේ උකුලෙ තියාගෙන අනිත් අත තාලෙට වන වනා යන ගමන් තමයි ජනූ කවි කියන්නෙ....
කාට ඇහෙන්ඩද?
කෝපි කැලේ ඉන්න දෙමලිචි රෑන නම් බය වෙලා බලං ඉන්නව  මේ මොකද්ද මේ ලමයට වෙලා තියෙන්නෙ කියල??
ජනූගෙ තාත්ත නම් ඔන්න අම්මටත් ඔත්තුව දීල හැංගිලා  හොරෙන් බලන් ඉන්නව ජනූගෙ නැටිල්ල දිහා...
ඔන්න ඉතිං දවසක්දා  ජනූ ඔය වගේ කාටත් හොරෙන් කෝපි කැලේට වැදිල කවි කියකිය නට නටා ඉන්නව.
ඩොං....!
ජනූ ළමයගෙ ඇස් නිලංකාර වුණා.....
එයා වීසි වෙලා  වැලි තලාව උඩ වැටුණ....!
කන් දෙක ඇහෙන්නෙ නෑ වගෙ.
අර රූපවාහිනියෙ විකාශය පටන්ගන්ඩ කලින් හු කියන්නෙ....
අන්න ඒ වගේ සද්දයක් දෝංකාර දෙනව කන් දෙක අස්සෙ...
ඒ මදිවට නළල හරියෙ ලොකු බරක් වගේ දැනෙනව...
පපුව ගැහෙනව.....
ගිඩි ගිඩි ගිඩි ගිඩි......
ජනූ ළමය නැගිටින්න උත්සාහ කළා...  
ම්හ්.... ලෝකෙම කැරකෙනව වගේ....!
කවුරු හරි ජනූ ළමයගෙ ඔලුගෙඩියට පොල්ලකින් ගැහුව
ජනූට හිතුණ...
හොරෙක්ද??
අම්මෝ හොරෙක්ද?

ජනූට අම්මයි තාත්තයි අනන්තවත් කියනවනෙ එහෙ මෙහෙ ඇවිදින්ඩ එපා තනියම අල්ලං ගිහින් කරවල වාඩිවල වැඩට දායි කියල.
ළමයි හොරෙක්වත් ඇවිත් ජනූගෙ ඔලුවට පොල්ලකින් ගහල ජනූව ගෝනියක දාගෙන යන්ඩ හදනවද?

අම්මේ....!

ජනූ කෑ ගහන්ඩ හැදුව.....
ඒත් සද්දෙ පිටවෙන්නෙ නෑනෙ...
අයියෝ.... දැන් මේ මනුස්සය ජනූව දාගනීවි ගෝනිය ඇතුලට...
දාල අරන් යයි කරවල වාඩියකට
කොහෙද තාත්ත කිව්වෙ වත් නෑනෙ මේ කරවල වාඩි තියෙන්නෙ කොහෙද කියල අරන් යයි කියල බය කලාට මොකද?
අනේ....... !
ජනූ බයෙන් ඇස්පියාගෙන තද කරගත්ත.
තව ටිකකින් ජනූ යනවනෙ අම්මයි තාත්තයි මල්ලි බබයි දාල... කරවල වේලන්ඩ...
ජනූ ගෙ ඇස්වල කඳුලු පිරුණා
ටිකක් වෙලා ගියා...
ජනූ තාමත් එතනමයි...

කෝ මේ හොරා...?
ජනූ හිමින් හිමින් ඇස් ඇරල වටපිට බැලුව.
කවුරුත් නෑ වගේ...

හම්මේ යාන්තං ඇති.....!
ජනූ සැනසුම් සුසුම් හෙලුව..


මං හිතන්නෙ හොරාට දුක හිතෙන්ඩ ඇති මල්ලි බබයි අම්මයි තාත්තයි දාල ජනූ බබාව අරන් යන්ඩ හොඳ නෑනෙ කියල...
ඒත්....!
ජනූ ගෙ හිතට ටීක් ගාල සැකයක් ආව...
කවුරුත් පේන්ඩත් නැත්තං...............මට පොල්ලෙන් ගැහුවෙ හොල්මනක් වෙන්ඩ බැරිද?
ඔලුව අතගාල බැලුවම ඔලුවත් රිදෙනව....!
ගෑනි හොඳටම බය වුණා.....

බුදු අම්මේ .....! හොල්මා...............න්!
තාත්තේ......! හොල්මා.....................න්....!
ආච්චි අම්මේ බේරගනියෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ජනූ  එක පාරටම බෙරිහන් දෙන්ඩ පටන් ගත්ත
කවාවත් නැතුව මේ බෙරිහන් දිවිල්ල මොකද්ද බලන්ඩ පත්තරේ බල බල හිටපු තාත්තයි, හවස තේ හද හදා හිටපු අම්මයි දුවගෙන ආව කෝපි කැලේට...

මොකද බොලා බෙරිහන් දෙන්නෙ.....?
කවා ගත්තද මොකෙක් හරි?
ජනූ බිම වැටිල ඉන්නව දැක්කම තාත්ත ඇහුව.
මොකද චූටි පුතේ වුණේ......?
අම්මත් ඇහුව.

හොම්මනක්......!
මට පොල්ලකින් ගැහුව.....! පිටිපස්සෙන් ඇවිත්...
මං වැටුණ!
ජනූ ඇඬුම් හඬින් කියවගෙන කියවගෙන ගියා.
මං කොච්චරවත් කියනව නේද තනිපංගලමෙ කෝපි ගස් අස්සෙ නටන්ඩ එපා කියල ආ.... ?
කෝ අහනවද කියන දේ?
අම්ම බැන බැන ජනූ බබා ව නැගිට්ටවගන්න අතරෙ තාත්ත වටපිට බැලුව...
ම්හ්.....කවුරුත් නෑ පේන්ඩ...
උඩ බැලුව...
ආයෙත් බිම බැලුව...පොඩ්ඩක් වටපිට කැරකිලාත් බැලුව...

ආ මේ ඉන්නෙ හොල්මන බොලාට පොල්ලෙං ගහපු...

තාත්ත ජනූ වැටිල හිටපු තැනට පොඩ්ඩක් එහායින් බිම  වැටිල තිබුණු වේලිලා කරකුට්ටං වෙච්ච පොල් ගෙඩියක් පෙන්නුව...
කවි කිය කියා ඉන්න අතරෙ සිද්ද වෙලා තියෙන්නෙ මොකද්ද කියල හිතා ගන්ඩ පුලුවන් ද?
කෝපි කැලේ ගස් අතරෙ තියෙන තැඹිලි ගහෙන් වැටිච්ච තැඹිලි ගෙඩියක් ජනූ බබාගෙ ඔලුවට වැටිල...
එක පාරට කරන්ට් වැදුන වගේ ජනූ බබා විසි වෙලා ගිහින් තියෙන්නෙ ඒ වැදිච්ච පාරට....
ගහ යට ඒ වගේ තව වේලිච්ච තැඹීලි ගෙඩි කීපයක්ම වැටිල තිබුණ...
බලන්ඩකෝ......!
 ජනූගෙ අම්ම ඔලුවෙ අතගහගත්ත

මිං මනත.... එන්නෙ එහෙම නෑ තනියම මේ කැලේ අස්සෙ...
මොනව හරි වුණා නං මොන දෙයියන්ට කියන්ඩද?දෙන්ඩ හිතයි අනේ අම්මප මට දෙකක්....!
කෝ කොහෙද රිදෙන්නෙ? එනව යන්ඩ මොනව හරි ගාන්ඩ

අම්ම බැන බැන ජනූව ඇදගෙන ගෙදර ගියා..!
අම්ම මොනව හරි ගෑව.....ඔලුව රිදෙන එක අඩු වුණා.....
කොයි එකටත් එක්ස් රේ එකක් ගන්ඩ වෙයි.. ඔලුවෙනෙ වැදිල තියෙන්නෙ....
තාත්තයි අම්මයි කතාවුණා...
එක්ස්රේ එක බලපු ඩොක්ට අංකල් නං කිව්වෙ කිසිම ගැටලුවක් නෑ කියලයි....
දවසකින් දෙකකින් වැඩේ අමතක වෙච්ච ජනූ අම්මලට හොරෙන් ආයෙමත් කෝපිකැලේ කවි කියන්ඩ ගියා.
අහු වුණාම ගුටිත් කෑව.. බැණුමුත් ඇහුව...
හැබැයි හොඳම වැඩේ ඕක නෙවෙයි නෙ...
මේ කතාව ඇහුවම ජනූ බබාගෙ කැම්පස් යාලුවො නම් කිව්වෙ

ශූවර්ද? ඔය ඩොක්ට අංකල්  ඇත්තමයි කිව්වෙ කියල? ඔය පොල් ගෙඩිය  වැටිච්ච එකේ බලපෑමක් නෑ කිව්වට පොඩ්ඩක් විතර කියෙනව කියල අපිට වුණත් තේරෙනවනෙ කියල...

ඉතිං ඔයාලට කියන්ඩ තියෙන්නෙ මොනවද මේ  ගැන දැං?


පින්තූරෙ නං හොයා ගත්තෙ 123rf.com එකෙං











13 comments:

  1. මට හිතෙන්නෙත් හොදටම හොද වෙලා නෑ වගේ තමා........

    ReplyDelete
  2. හිහ්....... පවු වැඩේ..... :D

    ReplyDelete
  3. කලින් ඉදන්ම තිබුන දේවල් පොල් ගෙඩි වලින් වහගන්න බැ

    ReplyDelete
  4. ඇති යන්තන් ජනූ බබා ඔයින් බේරුනා හොද වෙලාවට මුකුත් උනේ නෑ. ආයෙ සෙල්ලම් කරන්න යද්දි මුකුත් උනේ නැද්ද ?

    ReplyDelete
  5. මේ පොස්ට් එක ලිව්වේ පොල් ගෙඩිය ඔලුවේ වදුනට පස්සේ නේ මට තෙරුනා මුල් පේලි ටික කියවද්දිම!! මොනවා උනත් ලස්සනට ලියලා තියනවා ජනූ ළමය

    ReplyDelete
  6. Podi Ganu Lamai Oy kala wal asse ringana ekanam echchara honda wadak neme..

    ReplyDelete
  7. අර කැම්පස් එක​ේ යාළුවා කිව්වේ දේ විතරයි කතාවේ ගන්න ඈති දේකට තියෙන්නේ...

    ReplyDelete
  8. ඇත්තටම මට නම් හිතුන ඔන්න ඔහොම අබග්ගයක් පොඩි දවස්වල වෙලා ඇතිය කියල, ඒත් කෙලින්ම අහන එක හරි මදි නිසා කට පියාගෙන උන්නා,

    හැබැයි ඔය පොල් වැටිල වෙන නුහුගුනේ වගෙ ගතිය සතියකින් දෙහෙකින් ඇරිල යනව කියලයි මම අහල ඇත්තෙ, ඒත් ඔයයිට මට පේන විදිහට තාමත් මාසෙකට පාරක් වත් පොලයක් වැටෙනව වගේ,

    ReplyDelete
  9. එතකොට මේ ජනූ කවුද ? http://hansakinkini.wordpress.com/

    ReplyDelete
  10. ඒත් මමම තමා..... හි හි...

    ReplyDelete
  11. කෝ මේ ජනූ බබා? හුඟ දවසකින් කිසි සද්දයක් ඇහුන් නෑ, නිදි කුම්මරිගෙ නාට්ටිය රඟපාන්නවත් ගිහිංද දන් නෑ!

    ReplyDelete
  12. Guess what Janani akki, when i was in grade 8, the same thing happened to me. A coconut was fallen on to my head and I was totally fine. I was immediately taken to the hospital was telling "maara oluwak ne", coz it was over 40 feet tall tree. My friend who was with me ran off screaming and fainted. My mom and dad was so scared. My neighboring uncle took me to hospital in his car as dad was at office. My mom kept the coconut for over 6 years under my bed and they bugged me for years and years whenever i did something nutty, telling the bump i got it my head still has effects on me :p

    Poornima Siriwardana

    ReplyDelete