Friday, January 21, 2011

මල්ලි බබාගෙ මවුපියො කෑම.....!


ඔයාල දන්නවනේ අපේ ජනූ ළමය ඉස්කෝලෙ යන්ඩ පටන් ගත්ත කියල. හා හා පුරා කියල ඉස්කෝලෙ ගිහින් දීපු ඉදල් පාර ගැනත් දන්නව ඇති නෙ. ඉතිං ජනූ ළමය ඉස්කෝලෙ යන්න පටන් අරන් ටික දවසකින් ජනූගෙ මල්ලි බබත් මොන්ටිසෝරි යන්ඩ පටන් ගත්ත. මල්ලි බබා ඉතිං පොඩි කාලෙ හරිම අඬන බබා...! කොයි වෙලෙත් නළාව පිඹගත්තු ගමන්. හැන්දෑ වෙච්ච ගමන් එයාගෙ බෙයා කෙනෙක් ඇප්ලික් කරපු කොට්ටෙයි පොරවන රෙද්දයි තුරුල් කරන් අම්ම වටේ කැරකෙනව.

අම්මෙ.. යංකො දොයියන්ඩ... අනේ අම්මෙ යංකො දොයියන්ඩ...

ඒ මදිවට රෑට හීනෙන් ඇහැරිලා අඩනව...

අක්ක මගෙ කරවල කෑල්ල කෑවා.............
අක්ක මගෙ චොකෝ කෑවා..... කියල.

මේ වෙලාවට ජනූ ළමයට නම් හරි හිනා...

ඇයි අනේ කොහෙ තියෙන කරවලද මේ රෑ දොළහට එකට.....
ඉස්සර අඬන බබා වුණාට දැන්නම් එයා ලොකු බබෙක් වෙලා ඉන්නෙ.
දැන් අද මේ කියන්ඩ යන කතාව කියවල මල්ලි බබා ජනූ ළමයට ගහන්ඩ එහෙම ආවොත් ඔය හැමදාම කියවන්ඩ මේ පැත්තෙ එන ළමයින්ට ජනූ ළමයව බේරගන්ඩ වෙයි...

ඔන්න ඉතිං ජනූ ළමය ඉස්කෝලෙ ඉවර වෙලා අම්මලගෙ ඉස්කෝලෙට එනවනෙ ආශා අක්කත් එක්ක. ඉතිං මොන්ටිසෝරි ගිය මල්ලි බබාවත් මගින් එක්කරගෙන තමයි මෙයාල එන්නෙ.
ඒ ඇවිත් ඉස්කෝලෙ බුදුමැදුර වටෙයි ගස් වටෙයි නටන එක තමයි වැඩේ අම්ම කීයට හරි ඉස්කෝලෙ වැඩ ඉවර වෙලා එනකල්. සංගීත ගුරුතුමී අම්මට හරියට වැඩනෙ... .තරඟවලට යන ළමයි පුරුදු කරන්ඩ, බෑන්ඩ් ප්‍රැක්ටිස් කරවන්ඩ, වැඩ ගොඩයි. ඉතිං ගොඩක් වෙලාවට බබයි අම්ම වැඩ ඉවර වෙලා ගෙදර යන්න කතා කරනකොට ජනුටයි මල්ලිටයි සංගීත කාමරේ බංකු උඩ නින්දත් ගිහින්.....

මේ කාලෙ ඉස්කෝලෙ ගුරු නිවාසෙ නතර වෙලා හිටිය දිසානායක අංකල්ට සෞම්‍යා කියල මල්ලි බබාගෙ වයසෙම වගෙ දුවෙක් හිටිය... ඉතිං ජනුයි මල්ලි බබයි දෙන්න ඉස්කෝලෙ ඇරිල ඇවිත් නංගි බබත් එක්ක සෙල්ලම් කරන්ඩ ගුරු නිවාසෙට යනව...

දිසානායක ආන්ටිත් මේ දෙන්නට හරිම ආදරෙයි.... ගොඩක් දවසට සෙල්ලම් කරන්ඩ ගියාම බිස්කට්, කෙසෙල්ගෙඩි, උදේට කන්ඩ තම්බපු කඩල එහෙම දෙනව... ඉතිං කට්ටිය ඕව කාල සෙල්ලම් කරල අම්මත් එක්ක ගෙදර එනව.
ඔන්න මේ කියන දවසෙ ජනූ ළමයගෙ මල්ලි බබාගෙ මොන්ටිසෝරියෙ නිවාඩු නිසා එයා අම්මත් එක්ක ඉස්කෝලෙ ට ආව....  ජනූ ළමය ඉස්කෝලෙ ඇරිල අම්මලගෙ ඉස්කෝලෙට ඇවිත් මල්ලි බබාව හෙව්ව හෙව්ව හම්බ වුණේ නෑ....

කොහෙ හරි සෙල්ලම් කරනව ඇති.....!

මෙහෙම හිත හිත ජනූ ළමයත් ඉබේම වගේ ගුරුනිවාසෙට යන කන්ද නැග්ග
ඒ යනකොට මල්ලි බබා සෞම්‍යා නංගිත් එක්ක සෙල්ලම් කරන්ඩ ඇවිල්ලත් නෑ....

පුතේ උදේට හදපු කවුපි ටිකක්  තියෙනව... කමුද?

සුපුරුදු පරිදි ආන්ටි ඇහුව...

ජනූ ඉතිං බෑ කියනවැයි....

ඉතිං ආන්ටි පිඟානකට දාල කවුපි ගෙනත් දුන්න ජනූට... ජනුත් ඉතිං කෑව...
ඔන්න ජනූ අන්තීම කවුපි ඇටෙත් කටට දාගන්න කොටම මල්ලි බබා ආව දුවගෙන.....
එයා දැක්ක අක්කගෙ කට හෙලවෙනව...

මොනවද අක්කෙ කන්නෙ............?
කවුපි...
කවුපි........ඒ මොනවද ඒ....? කෝ මටත් ඕනෙ...

මොනවද කියල දන්නෙත් නෑ. ඒත් අක්කගෙ කට හෙළවෙනව නම් එයා කන්නෙ ලී කෑල්ලක් වුණත් කමක් නෑ මල්ලි බබාට ඕනෙ...

කවුපි කියන්නෙ ඇට ජාතියක්... කඩල වගේ..
කෝ තව නැද්ද කවුපියො???
නෑ ඉවරයි... ආන්ටි මට දුන්නෙ ඉතුරු වෙලා තිබුණ ටිකක්...

මල්ලි බබාගෙ මූන ඇද වුණා....
අයියෝ මම කවදාවත් කාලත් නෑ.... ඔයා ඇයි මට ටිකක් ඉතුරු කළේ නැත්තෙ...?
ඒ මදිවට ආඩපාලිත් කියනව...

ඉතිං මං ඔයාව හෙව්වනෙ.... කොහෙද ඔයා ගිහින් හිටියෙ...?
මම පොකුණෙ බැහැල මාලු බැලුව... මලුත් පිපිල තිබුණ...
ඔන්න පොකුණ ගැන විස්තරේ නිසා මල්ලි බබාට කවුපි කතාව අමතක වුණා...
ජනූල සෙල්ලම් කරල අම්ම එක්ක ගෙදර ගියා...
ජනූලගෙ ආච්චි අම්ම එදා රෑට කන්ඩ ඉඳි ආප්ප තම්බල, මාලු කිරට උයල, පොල් සම්බෝල හදල ජනූලට රෑට කවන්ඩ ලෑස්ති වුණා....
මට එපා ඉඳිආප්ප...මල්ලි කිව්ව...

ඇයි මයෙ පුතේ ඔයා ඉඳිආප්ප කන්ඩ හරි ආසයිනෙ.. මේ මාලු හොදිත් තියෙනව...

මට බෑ...........

ඇයි පුතේ එහෙනං මොනවද කන්නෙ.....

මට ඉඩිආප්ප එපා...... මට මවුපියො ඕනේ........................

මොනවද???
ආච්චිඅම්ම තුෂ්නීම්භූත වුණා...

මවුපියො.... කන්ඩ???
ඔවු.... අක්ක ජවල් මවුපියො කෑවා.............. මච ජුන්නෙ නෑ.......

ආච්චි අම්ම අහස පොළව ගැටලන්ඩ වුණා මේ අපබ්‍රංසෙ අහල...
මොනවද දුවේ මේ ඉල්ලන්නෙ මේකා....?
ආච්චි අම්ම අම්මගෙනුත් ඇහැව්ව

අනේ මන්ද අම්මෙ...... මාත් මේ අහගෙනයි උන්නෙ.. මොනවද පුතේ මවුපියො කියන්නෙ...?
අක්ක ඒව කෑවා.......................................!
මවුපියො කන රටක් කොහෙද තියෙන්නෙ.... මවුපියො කියන්නෙ පුතේ අම්මටයි තාත්තටයි නෙ.....අම්මවයි තාත්තවයි කන්නෙ නෑනේ පුතා....???

නෑ නෑ.... මවුපියො කියන්නෙ කන දෙයක්. අක්කට විචරක් ජවල් අම්බවුණා.... එයා චනියම කෑවා......... හී..........

ඔන්න එතකොට තමයි ජනූට මතක් වුණේ මෙයා මේ අඬන්නෙ මොනව ඉල්ලලද කියල...

නෑ නෑ.............. ආච්චිඅම්මෙ, ඔය මල්ලි ඉල්ලන්නෙ කවුපි... අද දවල් දිසානායක ආන්ටි මට කවුපි දුන්න කන්ඩ.. මල්ලි ඒ වෙලාවෙ හිටියෙ නෑ.....

ආ..... මේ කවුපිද???

අම්මටයි ආච්චි අම්මටයි හිනහව නවත්තගන්ඩ බෑ....
ඔය අස්සෙ වැඩ ඇරිල තාත්තත් ගෙදරට ගොඩවැදිල...

මේං මේකා අපි දෙන්නව කන්ඩ ඉල්ලනව...

අම්ම තාත්තට කතාව කිව්ව...
තාත්තට ඉතිං කතාව අහල මල්ලි බබා ගැන දුක හිතුන පාර මහන්සි නොබල වඩාගෙන මිදුල වටේ රවුමක් දෙකක් එක්කරගෙන ගියා....

හොඳ වෙලාවට පරෙයි කඩේ වහල තිබුණෙ නෑ....

පහුවදා උදේට තම්බන්ඩ කවුපි ගේන්ඩ ගිය ආච්චි අම්මා කිවුව....
ඕන්න ඔහොමයි අපේ ජනූගෙ මල්ලි බබා මවුපියො කෑවෙ......



ඔන්න මේක කියවල  මල්ලි බබා ජනූට  ගහන්ඩ එනවෝ....බේරගනියෝ.......!
මල්ලි බබාගෙ පින්තූරෙ හම්බ වුනේ bli-bayu.blogspot.com එකෙන්


11 comments:

  1. සෑහෙන්න තරමක් ලේ පිරිසිදු කැරගත්තෙමි...

    ජය වේවා....!!

    ReplyDelete
  2. meya gindara kathawak mai. hina giyeya. bashawa ele elaya saralaya all the best ya

    ReplyDelete
  3. චහ් අපූරු කථාව... නියමයි.... !!!

    අපිව අපූරු ඉසව් වලට එක්කන් එන සොරෝ මල්ලිටත් තුති...

    ReplyDelete
  4. අනේ හපොයි.... හික් හික්...

    ReplyDelete
  5. සෝරෝ, ප්‍රභාත්, තිස්ස අයිය, අනුරාධ
    ගොඩාක් කට්ටිහ ඇවිත්නෙ ජනූව බලන්ඩ. හරිම සන්තෝසයි ජනූට. හැමදාම එන්ට.....

    ReplyDelete
  6. තමත් හිනා... ජනූ බබාව බේර ගන්න අපි එනවෝ. මම ගෙදර ගිය ටිකට ජනූ බබා කර ගන්න වැඩ !!! තාමත් මල්ලි බබා මව්පියෝ කන්න ඉල්ලනවද ?

    ReplyDelete
  7. හි හි හි.. දැන් නම් ඉල්ලන්නෙ චොක්ලට්, පුඩින්,අයිස්ක්‍රීම් වගේ දෙවල් තමයි. ජනූ ට තාමත් ඉඳල හිටල හරි හරි වැඩ වෙනව....

    ReplyDelete
  8. ලියන්න ලියන්න ජනූ බබා. අපි කියවන්න් ඉන්නවා. සතියට ලිපි දෙකක්වත් දාන්න අපි කියවන්න බලන් ඉන්නේ

    ReplyDelete
  9. නියම කතාව... මධුරංග අයිය කිව්ව වගේ සතියට ලිපි 2ක්වත් දාන්ඩ...

    ReplyDelete
  10. හොද කතාව!තාම හිනා.

    ReplyDelete