Wednesday, February 2, 2011

ජනූගෙ කෝපි කැලේ වීරකම්....!

මේ ලියන්ඩ යන්නෙ ජනූ බබාට වෙච්ච ඇබැද්දියක් ගැන.
හැබැයි මේක කියවල කවුරුහරි එයාට හිනා වෙලා තිබුණොත් එහෙම තමයි එයා බලාගන්නෙ ඔක්කොමල ගැන....
ජනූ බබා ඉතිං ඉපදිච්ච දවසෙ ඉඳලම සංගීතෙට හරිම ලැදියි නෙ...
ජනූ ඉතිං ඉපදිලා තියෙන්නෙත් සප්තකේ කියාගෙනමනෙ...

මෙහෙම කිව්වෙ ජනූගෙ කැම්පස් යාලුවෙක් වුන හේමන්...

ඉතිං කොහොම හරි ඔන්න ජනූ බබා ඉස්කෝලෙ යන්ඩ පටන් අරන් කියවන්ඩ එහෙම පුලුවන් වුණාම සංගීත ගුරුතුමී අම්ම ජනූට කවි පොත්, කතන්දර පොත් ගොඩාක් ගෙනත් දුන්නනෙ....
ඔය පොත් අතරෙ ජනූ ගොඩාක් කැමති පොතක් තිබුණ..
ඒකෙ තිබුණෙ ලස්සන ජන කවි...
කළගෙඩි නැටුමට කියන කවි, ලී කෙළි කවි, මේවර කවි, එලුවන් කෑම, මේ හැම ජාතියකම කවි ඒ පොතේ තිබුණා.
ජනූට ඉතිං මේ කවිවල තාල අමුතුවෙන් ඉගෙනගන්ඩ දෙයක් තිබුනෙ නෑනෙ.
ඇයි.. සංගීත ගුරුතුමී ඉස්කෝලෙ අයියල අක්කලට උගන්නනකොට අහලෙන ඉඳල යස අපූරුවට ඒ තාල මතකයිනෙ.
හැබැයි ගෑණි බොරු ලැජ්ජකාරි....
ඔය කවිවලට කොච්චර කැමති වුණත්, තාලෙට ලස්සනට ගයන්ඩ පුලුවං වුණත්, ඉස්කෝලෙදි කිසිම සබකෝලයක් නැතිව කවි සින්දු කිව්වත්, අම්මයි තාත්තයි ඉස්සරහ වුණත් එව්ව කියන්ඩ ලැජ්ජයි...
ජනූලගෙ ගෙදර පල්ලමේ තිබුණනෙ පොඩි කෝපි කැලයක් මේ කැලේ මැදින් මහ පාර අයිනෙන් ගලාගෙන එන වතුර වත්ත හරහා යන නිසා වැහි කාලෙට විතරක් ගලන ඇළක් තිබුණා. උඩහ වතු හෝදගෙන ගලාගෙන එන වතුරත් එක්ක ඇවිත් මේ කෝපි කැලේ තැන්පත් වෙච්ච සුදු වැලි නිසා මේ කෝපි කැලේ ජනූට සෙල්ලම් කරන්ඩ කියලම හදාපු තැනක් වගේ...කෝපි මල් පිපෙන කාලෙට ගස්වල මල් පිපිල සුවඳේ බෑ... ඒ විතරක්ද කොලපාට කෝපි ගස් සුදු පාට කෝපි මල්වලින් පිරුණාම  සිංහල අවුරුද්දට ආච්චි අම්මට තෑගි දෙන්ඩ ගෙනාව චීත්ත රෙද්ද වගේ හරි ලස්සනයි.
ඒ විතරක්ද... ඔය විවිධාකාර ලස්සන ලස්සන දේවල් හම්බවෙනව නෙ කෝපි කැලේ සුදු වැල්ලෙන්...
එක දවසක් ලස්සන කොන්ඩ කටුවක්....!
තවත් දවසක පිඟන්මැටිවලින් හදපු කලු පාට ඇඟේ සුදු තිත් තියෙන පුංචි බලු පැටියෙක්
ඉතිං කට්ටිය ඉස්සරහ කවි කියන්ඩ ලැජ්ජ හින්ද ජනූ මොකද දන්නවද කරන්නෙ.....?
එයා යනව එයාගෙ කවි පොතයි රිදී පාට පුංචි කළෙයි අරන් ඔය කෝපි කැලේට.
ගිහිල්ල මහා හයියෙන් කවි කියනව....
අහසට පිඹිනා එරන් කළේ යා
පොළවට පිඹිනා බූමි කලේ යා
රන් මසු දහසක් වටින කළේයා
නොබිඳින් නෑනෝ මගේ කළේයා

තාන තනා තම්දෙ නා තම්දෙනානා
තෙතන තනා තම්දෙ නා තම්දෙනානා
පොත දිගඇරල බිම තියල... ඒකෙ චිත්‍රයට නගල තියෙන රෙද්දකුයි හැට්ටෙකුයි ඇඳල ඉන්න ලස්සන පුංචි ගෑනු ළමයගෙ උකුලෙ තියන් ඉන්න කළේට වඩා ලස්සනට මෝස්තර ඇඳපු ලස්සන කළයක් තමන්ට තියෙනව කියල හිතාගෙන තාලෙට අඩි තිය තිය අතකින් කළේ උකුලෙ තියාගෙන අනිත් අත තාලෙට වන වනා යන ගමන් තමයි ජනූ කවි කියන්නෙ....
කාට ඇහෙන්ඩද?
කෝපි කැලේ ඉන්න දෙමලිචි රෑන නම් බය වෙලා බලං ඉන්නව  මේ මොකද්ද මේ ලමයට වෙලා තියෙන්නෙ කියල??
ජනූගෙ තාත්ත නම් ඔන්න අම්මටත් ඔත්තුව දීල හැංගිලා  හොරෙන් බලන් ඉන්නව ජනූගෙ නැටිල්ල දිහා...
ඔන්න ඉතිං දවසක්දා  ජනූ ඔය වගේ කාටත් හොරෙන් කෝපි කැලේට වැදිල කවි කියකිය නට නටා ඉන්නව.
ඩොං....!
ජනූ ළමයගෙ ඇස් නිලංකාර වුණා.....
එයා වීසි වෙලා  වැලි තලාව උඩ වැටුණ....!
කන් දෙක ඇහෙන්නෙ නෑ වගෙ.
අර රූපවාහිනියෙ විකාශය පටන්ගන්ඩ කලින් හු කියන්නෙ....
අන්න ඒ වගේ සද්දයක් දෝංකාර දෙනව කන් දෙක අස්සෙ...
ඒ මදිවට නළල හරියෙ ලොකු බරක් වගේ දැනෙනව...
පපුව ගැහෙනව.....
ගිඩි ගිඩි ගිඩි ගිඩි......
ජනූ ළමය නැගිටින්න උත්සාහ කළා...  
ම්හ්.... ලෝකෙම කැරකෙනව වගේ....!
කවුරු හරි ජනූ ළමයගෙ ඔලුගෙඩියට පොල්ලකින් ගැහුව
ජනූට හිතුණ...
හොරෙක්ද??
අම්මෝ හොරෙක්ද?

ජනූට අම්මයි තාත්තයි අනන්තවත් කියනවනෙ එහෙ මෙහෙ ඇවිදින්ඩ එපා තනියම අල්ලං ගිහින් කරවල වාඩිවල වැඩට දායි කියල.
ළමයි හොරෙක්වත් ඇවිත් ජනූගෙ ඔලුවට පොල්ලකින් ගහල ජනූව ගෝනියක දාගෙන යන්ඩ හදනවද?

අම්මේ....!

ජනූ කෑ ගහන්ඩ හැදුව.....
ඒත් සද්දෙ පිටවෙන්නෙ නෑනෙ...
අයියෝ.... දැන් මේ මනුස්සය ජනූව දාගනීවි ගෝනිය ඇතුලට...
දාල අරන් යයි කරවල වාඩියකට
කොහෙද තාත්ත කිව්වෙ වත් නෑනෙ මේ කරවල වාඩි තියෙන්නෙ කොහෙද කියල අරන් යයි කියල බය කලාට මොකද?
අනේ....... !
ජනූ බයෙන් ඇස්පියාගෙන තද කරගත්ත.
තව ටිකකින් ජනූ යනවනෙ අම්මයි තාත්තයි මල්ලි බබයි දාල... කරවල වේලන්ඩ...
ජනූ ගෙ ඇස්වල කඳුලු පිරුණා
ටිකක් වෙලා ගියා...
ජනූ තාමත් එතනමයි...

කෝ මේ හොරා...?
ජනූ හිමින් හිමින් ඇස් ඇරල වටපිට බැලුව.
කවුරුත් නෑ වගේ...

හම්මේ යාන්තං ඇති.....!
ජනූ සැනසුම් සුසුම් හෙලුව..


මං හිතන්නෙ හොරාට දුක හිතෙන්ඩ ඇති මල්ලි බබයි අම්මයි තාත්තයි දාල ජනූ බබාව අරන් යන්ඩ හොඳ නෑනෙ කියල...
ඒත්....!
ජනූ ගෙ හිතට ටීක් ගාල සැකයක් ආව...
කවුරුත් පේන්ඩත් නැත්තං...............මට පොල්ලෙන් ගැහුවෙ හොල්මනක් වෙන්ඩ බැරිද?
ඔලුව අතගාල බැලුවම ඔලුවත් රිදෙනව....!
ගෑනි හොඳටම බය වුණා.....

බුදු අම්මේ .....! හොල්මා...............න්!
තාත්තේ......! හොල්මා.....................න්....!
ආච්චි අම්මේ බේරගනියෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ජනූ  එක පාරටම බෙරිහන් දෙන්ඩ පටන් ගත්ත
කවාවත් නැතුව මේ බෙරිහන් දිවිල්ල මොකද්ද බලන්ඩ පත්තරේ බල බල හිටපු තාත්තයි, හවස තේ හද හදා හිටපු අම්මයි දුවගෙන ආව කෝපි කැලේට...

මොකද බොලා බෙරිහන් දෙන්නෙ.....?
කවා ගත්තද මොකෙක් හරි?
ජනූ බිම වැටිල ඉන්නව දැක්කම තාත්ත ඇහුව.
මොකද චූටි පුතේ වුණේ......?
අම්මත් ඇහුව.

හොම්මනක්......!
මට පොල්ලකින් ගැහුව.....! පිටිපස්සෙන් ඇවිත්...
මං වැටුණ!
ජනූ ඇඬුම් හඬින් කියවගෙන කියවගෙන ගියා.
මං කොච්චරවත් කියනව නේද තනිපංගලමෙ කෝපි ගස් අස්සෙ නටන්ඩ එපා කියල ආ.... ?
කෝ අහනවද කියන දේ?
අම්ම බැන බැන ජනූ බබා ව නැගිට්ටවගන්න අතරෙ තාත්ත වටපිට බැලුව...
ම්හ්.....කවුරුත් නෑ පේන්ඩ...
උඩ බැලුව...
ආයෙත් බිම බැලුව...පොඩ්ඩක් වටපිට කැරකිලාත් බැලුව...

ආ මේ ඉන්නෙ හොල්මන බොලාට පොල්ලෙං ගහපු...

තාත්ත ජනූ වැටිල හිටපු තැනට පොඩ්ඩක් එහායින් බිම  වැටිල තිබුණු වේලිලා කරකුට්ටං වෙච්ච පොල් ගෙඩියක් පෙන්නුව...
කවි කිය කියා ඉන්න අතරෙ සිද්ද වෙලා තියෙන්නෙ මොකද්ද කියල හිතා ගන්ඩ පුලුවන් ද?
කෝපි කැලේ ගස් අතරෙ තියෙන තැඹිලි ගහෙන් වැටිච්ච තැඹිලි ගෙඩියක් ජනූ බබාගෙ ඔලුවට වැටිල...
එක පාරට කරන්ට් වැදුන වගේ ජනූ බබා විසි වෙලා ගිහින් තියෙන්නෙ ඒ වැදිච්ච පාරට....
ගහ යට ඒ වගේ තව වේලිච්ච තැඹීලි ගෙඩි කීපයක්ම වැටිල තිබුණ...
බලන්ඩකෝ......!
 ජනූගෙ අම්ම ඔලුවෙ අතගහගත්ත

මිං මනත.... එන්නෙ එහෙම නෑ තනියම මේ කැලේ අස්සෙ...
මොනව හරි වුණා නං මොන දෙයියන්ට කියන්ඩද?දෙන්ඩ හිතයි අනේ අම්මප මට දෙකක්....!
කෝ කොහෙද රිදෙන්නෙ? එනව යන්ඩ මොනව හරි ගාන්ඩ

අම්ම බැන බැන ජනූව ඇදගෙන ගෙදර ගියා..!
අම්ම මොනව හරි ගෑව.....ඔලුව රිදෙන එක අඩු වුණා.....
කොයි එකටත් එක්ස් රේ එකක් ගන්ඩ වෙයි.. ඔලුවෙනෙ වැදිල තියෙන්නෙ....
තාත්තයි අම්මයි කතාවුණා...
එක්ස්රේ එක බලපු ඩොක්ට අංකල් නං කිව්වෙ කිසිම ගැටලුවක් නෑ කියලයි....
දවසකින් දෙකකින් වැඩේ අමතක වෙච්ච ජනූ අම්මලට හොරෙන් ආයෙමත් කෝපිකැලේ කවි කියන්ඩ ගියා.
අහු වුණාම ගුටිත් කෑව.. බැණුමුත් ඇහුව...
හැබැයි හොඳම වැඩේ ඕක නෙවෙයි නෙ...
මේ කතාව ඇහුවම ජනූ බබාගෙ කැම්පස් යාලුවො නම් කිව්වෙ

ශූවර්ද? ඔය ඩොක්ට අංකල්  ඇත්තමයි කිව්වෙ කියල? ඔය පොල් ගෙඩිය  වැටිච්ච එකේ බලපෑමක් නෑ කිව්වට පොඩ්ඩක් විතර කියෙනව කියල අපිට වුණත් තේරෙනවනෙ කියල...

ඉතිං ඔයාලට කියන්ඩ තියෙන්නෙ මොනවද මේ  ගැන දැං?


පින්තූරෙ නං හොයා ගත්තෙ 123rf.com එකෙං











Friday, January 21, 2011

මල්ලි බබාගෙ මවුපියො කෑම.....!


ඔයාල දන්නවනේ අපේ ජනූ ළමය ඉස්කෝලෙ යන්ඩ පටන් ගත්ත කියල. හා හා පුරා කියල ඉස්කෝලෙ ගිහින් දීපු ඉදල් පාර ගැනත් දන්නව ඇති නෙ. ඉතිං ජනූ ළමය ඉස්කෝලෙ යන්න පටන් අරන් ටික දවසකින් ජනූගෙ මල්ලි බබත් මොන්ටිසෝරි යන්ඩ පටන් ගත්ත. මල්ලි බබා ඉතිං පොඩි කාලෙ හරිම අඬන බබා...! කොයි වෙලෙත් නළාව පිඹගත්තු ගමන්. හැන්දෑ වෙච්ච ගමන් එයාගෙ බෙයා කෙනෙක් ඇප්ලික් කරපු කොට්ටෙයි පොරවන රෙද්දයි තුරුල් කරන් අම්ම වටේ කැරකෙනව.

අම්මෙ.. යංකො දොයියන්ඩ... අනේ අම්මෙ යංකො දොයියන්ඩ...

ඒ මදිවට රෑට හීනෙන් ඇහැරිලා අඩනව...

අක්ක මගෙ කරවල කෑල්ල කෑවා.............
අක්ක මගෙ චොකෝ කෑවා..... කියල.

මේ වෙලාවට ජනූ ළමයට නම් හරි හිනා...

ඇයි අනේ කොහෙ තියෙන කරවලද මේ රෑ දොළහට එකට.....
ඉස්සර අඬන බබා වුණාට දැන්නම් එයා ලොකු බබෙක් වෙලා ඉන්නෙ.
දැන් අද මේ කියන්ඩ යන කතාව කියවල මල්ලි බබා ජනූ ළමයට ගහන්ඩ එහෙම ආවොත් ඔය හැමදාම කියවන්ඩ මේ පැත්තෙ එන ළමයින්ට ජනූ ළමයව බේරගන්ඩ වෙයි...

ඔන්න ඉතිං ජනූ ළමය ඉස්කෝලෙ ඉවර වෙලා අම්මලගෙ ඉස්කෝලෙට එනවනෙ ආශා අක්කත් එක්ක. ඉතිං මොන්ටිසෝරි ගිය මල්ලි බබාවත් මගින් එක්කරගෙන තමයි මෙයාල එන්නෙ.
ඒ ඇවිත් ඉස්කෝලෙ බුදුමැදුර වටෙයි ගස් වටෙයි නටන එක තමයි වැඩේ අම්ම කීයට හරි ඉස්කෝලෙ වැඩ ඉවර වෙලා එනකල්. සංගීත ගුරුතුමී අම්මට හරියට වැඩනෙ... .තරඟවලට යන ළමයි පුරුදු කරන්ඩ, බෑන්ඩ් ප්‍රැක්ටිස් කරවන්ඩ, වැඩ ගොඩයි. ඉතිං ගොඩක් වෙලාවට බබයි අම්ම වැඩ ඉවර වෙලා ගෙදර යන්න කතා කරනකොට ජනුටයි මල්ලිටයි සංගීත කාමරේ බංකු උඩ නින්දත් ගිහින්.....

මේ කාලෙ ඉස්කෝලෙ ගුරු නිවාසෙ නතර වෙලා හිටිය දිසානායක අංකල්ට සෞම්‍යා කියල මල්ලි බබාගෙ වයසෙම වගෙ දුවෙක් හිටිය... ඉතිං ජනුයි මල්ලි බබයි දෙන්න ඉස්කෝලෙ ඇරිල ඇවිත් නංගි බබත් එක්ක සෙල්ලම් කරන්ඩ ගුරු නිවාසෙට යනව...

දිසානායක ආන්ටිත් මේ දෙන්නට හරිම ආදරෙයි.... ගොඩක් දවසට සෙල්ලම් කරන්ඩ ගියාම බිස්කට්, කෙසෙල්ගෙඩි, උදේට කන්ඩ තම්බපු කඩල එහෙම දෙනව... ඉතිං කට්ටිය ඕව කාල සෙල්ලම් කරල අම්මත් එක්ක ගෙදර එනව.
ඔන්න මේ කියන දවසෙ ජනූ ළමයගෙ මල්ලි බබාගෙ මොන්ටිසෝරියෙ නිවාඩු නිසා එයා අම්මත් එක්ක ඉස්කෝලෙ ට ආව....  ජනූ ළමය ඉස්කෝලෙ ඇරිල අම්මලගෙ ඉස්කෝලෙට ඇවිත් මල්ලි බබාව හෙව්ව හෙව්ව හම්බ වුණේ නෑ....

කොහෙ හරි සෙල්ලම් කරනව ඇති.....!

මෙහෙම හිත හිත ජනූ ළමයත් ඉබේම වගේ ගුරුනිවාසෙට යන කන්ද නැග්ග
ඒ යනකොට මල්ලි බබා සෞම්‍යා නංගිත් එක්ක සෙල්ලම් කරන්ඩ ඇවිල්ලත් නෑ....

පුතේ උදේට හදපු කවුපි ටිකක්  තියෙනව... කමුද?

සුපුරුදු පරිදි ආන්ටි ඇහුව...

ජනූ ඉතිං බෑ කියනවැයි....

ඉතිං ආන්ටි පිඟානකට දාල කවුපි ගෙනත් දුන්න ජනූට... ජනුත් ඉතිං කෑව...
ඔන්න ජනූ අන්තීම කවුපි ඇටෙත් කටට දාගන්න කොටම මල්ලි බබා ආව දුවගෙන.....
එයා දැක්ක අක්කගෙ කට හෙලවෙනව...

මොනවද අක්කෙ කන්නෙ............?
කවුපි...
කවුපි........ඒ මොනවද ඒ....? කෝ මටත් ඕනෙ...

මොනවද කියල දන්නෙත් නෑ. ඒත් අක්කගෙ කට හෙළවෙනව නම් එයා කන්නෙ ලී කෑල්ලක් වුණත් කමක් නෑ මල්ලි බබාට ඕනෙ...

කවුපි කියන්නෙ ඇට ජාතියක්... කඩල වගේ..
කෝ තව නැද්ද කවුපියො???
නෑ ඉවරයි... ආන්ටි මට දුන්නෙ ඉතුරු වෙලා තිබුණ ටිකක්...

මල්ලි බබාගෙ මූන ඇද වුණා....
අයියෝ මම කවදාවත් කාලත් නෑ.... ඔයා ඇයි මට ටිකක් ඉතුරු කළේ නැත්තෙ...?
ඒ මදිවට ආඩපාලිත් කියනව...

ඉතිං මං ඔයාව හෙව්වනෙ.... කොහෙද ඔයා ගිහින් හිටියෙ...?
මම පොකුණෙ බැහැල මාලු බැලුව... මලුත් පිපිල තිබුණ...
ඔන්න පොකුණ ගැන විස්තරේ නිසා මල්ලි බබාට කවුපි කතාව අමතක වුණා...
ජනූල සෙල්ලම් කරල අම්ම එක්ක ගෙදර ගියා...
ජනූලගෙ ආච්චි අම්ම එදා රෑට කන්ඩ ඉඳි ආප්ප තම්බල, මාලු කිරට උයල, පොල් සම්බෝල හදල ජනූලට රෑට කවන්ඩ ලෑස්ති වුණා....
මට එපා ඉඳිආප්ප...මල්ලි කිව්ව...

ඇයි මයෙ පුතේ ඔයා ඉඳිආප්ප කන්ඩ හරි ආසයිනෙ.. මේ මාලු හොදිත් තියෙනව...

මට බෑ...........

ඇයි පුතේ එහෙනං මොනවද කන්නෙ.....

මට ඉඩිආප්ප එපා...... මට මවුපියො ඕනේ........................

මොනවද???
ආච්චිඅම්ම තුෂ්නීම්භූත වුණා...

මවුපියො.... කන්ඩ???
ඔවු.... අක්ක ජවල් මවුපියො කෑවා.............. මච ජුන්නෙ නෑ.......

ආච්චි අම්ම අහස පොළව ගැටලන්ඩ වුණා මේ අපබ්‍රංසෙ අහල...
මොනවද දුවේ මේ ඉල්ලන්නෙ මේකා....?
ආච්චි අම්ම අම්මගෙනුත් ඇහැව්ව

අනේ මන්ද අම්මෙ...... මාත් මේ අහගෙනයි උන්නෙ.. මොනවද පුතේ මවුපියො කියන්නෙ...?
අක්ක ඒව කෑවා.......................................!
මවුපියො කන රටක් කොහෙද තියෙන්නෙ.... මවුපියො කියන්නෙ පුතේ අම්මටයි තාත්තටයි නෙ.....අම්මවයි තාත්තවයි කන්නෙ නෑනේ පුතා....???

නෑ නෑ.... මවුපියො කියන්නෙ කන දෙයක්. අක්කට විචරක් ජවල් අම්බවුණා.... එයා චනියම කෑවා......... හී..........

ඔන්න එතකොට තමයි ජනූට මතක් වුණේ මෙයා මේ අඬන්නෙ මොනව ඉල්ලලද කියල...

නෑ නෑ.............. ආච්චිඅම්මෙ, ඔය මල්ලි ඉල්ලන්නෙ කවුපි... අද දවල් දිසානායක ආන්ටි මට කවුපි දුන්න කන්ඩ.. මල්ලි ඒ වෙලාවෙ හිටියෙ නෑ.....

ආ..... මේ කවුපිද???

අම්මටයි ආච්චි අම්මටයි හිනහව නවත්තගන්ඩ බෑ....
ඔය අස්සෙ වැඩ ඇරිල තාත්තත් ගෙදරට ගොඩවැදිල...

මේං මේකා අපි දෙන්නව කන්ඩ ඉල්ලනව...

අම්ම තාත්තට කතාව කිව්ව...
තාත්තට ඉතිං කතාව අහල මල්ලි බබා ගැන දුක හිතුන පාර මහන්සි නොබල වඩාගෙන මිදුල වටේ රවුමක් දෙකක් එක්කරගෙන ගියා....

හොඳ වෙලාවට පරෙයි කඩේ වහල තිබුණෙ නෑ....

පහුවදා උදේට තම්බන්ඩ කවුපි ගේන්ඩ ගිය ආච්චි අම්මා කිවුව....
ඕන්න ඔහොමයි අපේ ජනූගෙ මල්ලි බබා මවුපියො කෑවෙ......



ඔන්න මේක කියවල  මල්ලි බබා ජනූට  ගහන්ඩ එනවෝ....බේරගනියෝ.......!
මල්ලි බබාගෙ පින්තූරෙ හම්බ වුනේ bli-bayu.blogspot.com එකෙන්


Monday, January 17, 2011

චණ්ඩි ජනූගෙ ඉදල් පාර......!





චූටි පුතා..... නැගිටින්ඩ.... කෝ ... කෝ නැගිටින්ඩ... අද ඉස්කෝලෙ යන්ඩ ඕනෙ නෙ....?
අම්ම එහෙම කිව්ව ගමන් ජනූ නැගිටල ඇඳේ ඉඳගත්ත.
යං .... කිරි බීල ඉක්මනට ලෑස්ති වෙන්ඩ.
තාත්තට වඩාගන්ඩ කියන්ඩ.....
මොනව වුණත් තමන්ගෙ දින චර්යාව වෙනස් කරන්ඩ නම් ජනූ ලෑස්ති නෑ.
අම්ම තාත්තට කතා කළා.....
තාත්ත ආවාම ජනූ පැන්න ගමන් රිලා පැටිය වගේ තාත්තගෙ ඇඟේ එල්ලුනා.
මෙන්න බොලව් අපගේ බලු පුතුනා
මේකා නම් මහ නරක බල්ලෙකිය
මේ බල්ලා කොහි සිට ආවේ
මේකා අපායෙ ඉඳ ආවේ
හොඳ ලොකු කෝටුව ගෙනැවිල්ලා
මේකට දෙක තුන ගහපන්නේ....‍.
ඉතින් ඔන්න තාත්ත ඇවිත් ජනූව වඩාගෙන සුපුරුදු කවිය කිය කියා.... කුස්සිය පැත්තට එක්කගෙන ගියා.
අපෝ... නාකි හුරතල්.... ඔන්න කකුල් දෙකත් බිම ගෑවෙනව....
කුස්සියෙ උයන ගමන් හිටපු ආච්චි අම්මත් හිනා වුණා.
තාත්තගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන කිරි බීල ජනූ අම්මත් එක්ක මූණ සෝදන්න ගියා.
වෙනද දත් මදින්න බෑ කියල බිම පෙරලෙන ගෑනි අද සද්දයක් නැතිව අම්මට දත් මද්දවන්න ඉඩ දුන්න.
කාමරේ ඇඳ උඩ පුංචි යුනිෆෝම් එකකුයි හතරැස් ගැටයක් දාලම තියෙන පිටිපස්සෙන් ටික් එකක් හයි කරල තියෙන නිල් පාට ටයි එකකුයි ජනූ එනකල් හිනා වෙවී බලන් හිටිය.
අම්ම ලෑස්ති වෙලා ජනූට අන්දවන්න එනකල්ම ජනූ අම්මගෙන් එක එක විදියෙ ප්‍රශ්න ඇහුව
මං යන්නෙ මොන ඉස්කෝලෙටද අම්මෙ?
ජනූ  ඒ ප්‍රශ්නෙ ඇහුවෙ සිය වෙනි වතාවට විතර
කණිෂ්ටෙට...
අම්ම ඉන්නෙ ඒ ඉස්කෝලෙ නෙවෙයිද?
ඒක ඇහුවෙත් පණස් වෙනි පාරට විතර
ඉස්කෝලෙත් තියෙනවද අම්මෙ පියානෝ එකක් ආන්ටි ඊව්ගෙ වගේ?
 කලබලේ ඔසරිය අඳිමින් උන්න නිසා සමහර ඒව අම්මට ඇහුණෙත් නෑ. සමහර ඒවට ඔවු නෑ බෑ උත්තර.
කානේශයි පියුමියි හිරානුයිත් යන්නෙ මම යන ඉස්කෝලෙටමද?
එතකොට සමීර මල්ලි???
එයා තාම මොන්ටිසෝරියෙනෙ පුතේ, එයා ඉස්කෝලෙ යන්නෙ ලබන අවුරුද්දෙ...
ආ.... ඒ ඇයි එයා තාම මොන්ටිසෝරියෙ??
එයා ඔයාලට වඩා බාල නිසා...
ඒ ඇයි අපිට වඩා බාල.....?
දැන් නම් ජනූට හිතෙන්නෙ ඔය වගේ ප්‍රශ්න අම්ම හිතා මතාම මග අරින්න ඇති කියල උත්තර නොදී.... මොකද හැම උත්තරයකම කොණක් හොයාගෙන අහන්න ප්‍රශ්නයක් තියෙන ජනූට උත්තර දීල කොහෙන් පිරිමහන්ඩද.....?
අම්ම විගවිගහිං සූදානම්වෙලා පුංචි ජනූව ලෑස්ති කළා...
සුදු ගවුම ඇඳල, පුංචි ටයි එකක් දාල, සපත්තු දාල පුංචි කොන්ඩ කෑලි දෙකකුත් දාල අම්ම ජනූගෙ හැඩ බැලුව
ජනුත් කන්නාඩියට උස නැති නිසා ඇඟිලිවලින් ඉස්සි ඉස්සි හැඩ බැලුව
පරක්කු වෙනව නේද දුවේ.... කිරිබත් ටිකක් කවල පිටත් වෙන්ඩ ලෑස්ති වුණා නං....
ආච්චි අම්ම කිව්ව
ඔන්න ඉතිං අම්මයි තාත්තයි දෙන්න ජනූට කිරිබත් කවලා ජනූව එක්කගෙන ඉස්කෝලෙට ගියා.
බාලාංශ පන්තිය ලඟ කිරි පාටට පුංචි පැටවු අම්මලගෙ අතේ එල්ලිලා ඉන්නව....
සමහරු අඬනව.... තව සමහරු රණ්ඩු කරනව.
ජනූට හම්බෙලා තිබුබෙ 1 වසර ඒ පන්තිය.
අම්මයි තාත්තයි දෙන්න එක්ක ජනූ පන්තිය ලඟට යනකොට එක වසර ඒ පන්තිය බාර ටිකිරි ටීච  දොර ලඟම ඉඳල අම්මයි තාත්තයි එක්ක කතා කරන ගමන්ම ජනූගෙ අතින් අල්ලගත්ත. අම්ම කලින්ම කියල දීල තිබුණ මොන්ටිසෝරියෙදි වගේ ආන්ටි කියල එහෙම කියන්න එපා ටිචලට කියල. ඉතිං අම්ම ජනූට හාද්දක් එහෙම දීල ඈත් වුණා.
හා.....අපි යං පුතේ පන්තියට. පුතාටත් අම්මට වගේ ලස්සනට කවි සින්දු කියන්ඩ පුලුවන් නේද?
ජනූ හිතුවෙවත් නෑ අම්මගෙනුයි තාත්තගෙනුයි ඈත් වෙලා ඉස්කෝලෙ යන එක ඒ තරම් ලේසි වෙයි කියල.
අම්මලගෙ ඇඟේ එල්ලිලා අඬ අඬා හිටපු ළමයි දැක්ක ජනූටත් හිතුණ එයාටත් ඇඬෙයි කියල....
ඒත් ටිකිරි ටීච ජනූට හිතන්ඩවත් ඉඩ තිබුබෙ නෑ එයාව දාලා අමිමයි තාත්තයි යනව කියල....
එයා ටිකිරි ටීචත් එක්ක ගිහින් පන්තියෙ වාඩු වුණා.
අලුතෙන්ම කලු කරපු කලු ලෑල්ලක්....!
කලුම කලූ කට්ට කලු ලිපේ තියෙන දැලි අඟුරූ
ඒක දැක්කාම ජනූට මතක් වුණා
ලා නිල් පාට තීන්ත ගාල තිබුණු පුංචි ඩෙස්ක් හතරක් එකතු කරල හදපු ලොකු මේසෙ වටේට ඒ පාටම පුංචි පුටු තියල
ඒවගෙ ඉඳගත්ත පුංචි ළමයි.....!
හැබැයි අඳුනන යාලුවො කවුරුවත්ම නෑ....
හිරාන් නම් ජනූගෙ පන්තියටම තමයි එන්න හිටියෙ.ඒත් එයත් අම්මගෙ ඇඟේ එල්ලිලා අඬඅඬා ඉන්නව දැක්කනෙ එළියෙ...
කෝ.... කානේශයි , පියුමියි....???
ජනූ වටපිට බැලුව...
ඒ දෙන්නම තමන්ගෙ පන්තියෙ නෑනෙ....
ජනූ නැගිටලාම වටපිට බැලුව..
පටන් ගත්ත දවසෙම නිසා බාලාංශ පන්ති වෙන්කරන ලෑලි දාල තිබුණෙ නෑ.
ඉතිං ගොඩනැගිල්ලෙ තිබුණු පන්ති ටික සේරම වගේ ජනූට පෙනුනා.
පාට පාට තීන්ත ගාපු පන්ති අනිත් පන්ති අතරෙ ජනූ එයාගෙ යාලුවන්ව හෙව්ව
අන්න ඉන්නවා.....!!
කානේශයි පියුමියි එක පන්තියක එකලඟ ඉඳගෙන ඉන්නව දැක්ක ජනූ ට දුක හිතුණා.
ආ.... ඒ දෙන්නම එක පන්තියෙ... මං විතරක් මේ පන්තියෙ...ඒ මදිවට දෙන්නට ජනූව පේන්නෙත් නෑ. බර කතාවක...
ජනූ හිමින්ම ටිකිරි ටීච ලඟට ගියා.
ටීච.... මට යාලුවො ළඟට යන්ඩ ඕනෙ...
කෝ කව්ද යාලුවො....?
අර ඈත පන්තියෙ ඉන්නෙ..
ආ.... පුතේ ඔයා තේරුණේ මගේ පන්තියටනේ. යාලුවො දෙන්න තේරිලා තියෙන්නෙ සුමනා ටීචගෙ පන්තියට... ඔයාට ඒ පන්තියට යන්ඩ බෑනේ දැන්.
ඉතින් මට එයාලට කතා කරන්ඩවත් බැරිද???
ඇයි බැරි..... අපි ඉන්ටවල් එකේදි එයාලත් එක්ක කතා කරමුකෝ... දැන්  ඔයාගෙ පන්තියෙ යාලුවො අඳුනගමුකෝ....
ඔන්න  ඉතිං ටිකිරි ටීච අපේ ජනූ ළමයව ආයෙමත් එක්කරගෙන ගිහින් පුටුවෙ ඉන්දවල ආව...
ඔය ළඟ ඉන්න යාලුවත් එක්ක කතා කරන්ඩ කෝ.....
ඔයාගෙ නම් මොකක්ද?
ධර්මමාලි......
හීන් හඬින් ළඟ හිටිය ළමයා කිව්ව
ඔහොම ටිකක් වෙලා කතා කරගෙන යනකොට ඒ මේසෙ හිටපු තවත්කීප දෙනෙක් එක්ක ජනූ යාලු වුණා. ජනු ත් ඉතිං  හිත හදාගෙන මේ පන්තියෙම ඉන්න තීරණය කළා....
ටිලිං ටිලිං ටිලිං ටිලිං ටිලිං......
ඉන්ටවල් එක.....
අම්ම කෑම පෙට්ටියක දාල එවල තිබුණ පාන් කන්නත් කලින්ම ජනූට ඕනෙ වුණා කානේශවයි පියුමිවයි බලලා එන්ඩ....
ජනූගෙ පන්තියට අල්ලපු පන්තියට අල්ලපු පන්තියෙ තමයි ඒ දෙන්න ඉන්නෙ. ඉතිං ජනූට ඒ දෙන්නව බලන්න යන්න නම් පන්තියක් මැද්දෙන් යන්ඩ වෙනව.
ජනූ පිටත් වුණා....
කොහෙද යන්නෙ....
අල්ලපු පන්තියෙ පිරිමි ළමයෙක් ජනූ යන පාර හරස් කළා....
මට යන්ඩ දෙන්ඩ.... මට එහා පන්තියට යන්ඩ ඕනෙ..
ජනූ විනීත විදියට කිව්ව
බෑ බෑ මෙතනින් යන්ඩ බෑ....
ජනූ ඒ ළමය කියන එක අහන්නෙ නැතිව ඉතිරි වෙලා තිබුණ ඉඩෙන් යන්න ගියා.
කිව්වනෙ මෙතනින් යන්ඩ බෑ කියල...
ඒ පාර තව පිරිමි ළමයෙක්  ඇවිත් ඒ ඉඩත් වහගත්ත
මට යන්ඩ දෙනවලා....
ජනූට ටිකක් තරහ ගියා ඕන්න ඒ පාර නම්....
ටීච..... ටීච......මෙයාල මට යන්න දෙන්නෙ නෑ....
ජනූ කෑ ගැහුවා...
ඒත් ඉන්ටවල් එකේ පුංදි ළමයින්ගෙ සද්දෙ නිසා ටීචට ජනූ උදව් ඉල්ලා කෑ ගහන සද්දෙ ඇහුණෙ නෑ...
දෙන්නැද්ද මට යන්ඩ.....?
නෑ....
පිරිමි ළමයි දෙන්නත් ආඩම්බර ලීලාවෙන් කිව්ව.
මේ වෙනකොට සිද්ධිය බලන්ඩ තවත් ලමයි දෙතුන් දෙනෙකුත් වට වෙලා....
දෙන්නෙ නැද්ද???
අහන ගමන් ජනූ වටපිට බැලුවෙ යමක් හොයා ගන්නයි...
ඇයි අපිට මොනව කරන්නද???
කොල්ලො දෙන්නත් නවත්තන පාටක් නෑ....

චටාස් චටාස්....!
අම්මෝ ගහනවෝ......!

එක පාරටම සිද්දවෙච්ච දෙයින් කොල්ලො දෙන්නා කෑ ගහගෙන දෙපැත්තට විසි වුණා.
නරඹන්නො ටිකත් විලාප තියන්ඩ ගත්ත.
ඒ සද්දෙට ටීචලා දුවගෙන එනකොට.... බිත්තියට හේත්තු කරල තිබ්බ බී පන්තියට ආව ළමයෙක් අරන් ඇවිත් තිබුණ පුංචි  ඉදල අතට ගත්ත ජනූ පිරිමි ළමයි දෙන්නට හොඳට සළකල.....  දෙන්නම හොඳටම අඬනව. වටේට එකතු වෙච්ච කටිටියත් අඬනව. ජනූ ඉන්නව අර ඉදලත් අතේ තියාගෙන චණ්ඩි ශ්‍යාමා වගේ....!
ඔන්න ඉතින් නඩු ඇසීමේ වාරය ඇරඹුනා.
දැන් අර පිරිමි ළමයි දෙන්න අඬ අඬා නඩු කියනව ජනූ එයාලට ගැහුව කියල....
චීච.......... මෙයා අපිච ඉජලෙං ගැඋවා.............. ඌ.............................
කොහෙටද වැදුනෙ පුතේ......?
මෙචෙන්ච..........ඌ.............................
දෙන්නම අඬනව
ජනූට හරිම තරහයි....
ටීච මෙයාල මම යාලුවො බලන්ඩ යනකොට පාරට පැනල මට යන්ඩ දුන්නෙ නෑ. මම කිව්ව කිව්ව යන්ඩ දෙන්ඩ කියල... එයාල යන්ඩ දුන්නෙ නෑ... ඒ හින්ද තමයි මම ගැහුවෙ....
ඒ වුණාට පුතේ... ළමයින්ට ගහන්ඩ හොඳ නෑනෙ එහෙම. මීට පස්සෙ එහෙම කරන්නෙ නෑ ඔන්න.... කියන්ඩ මේ දෙන්නට සොරි කියල... මම ආයෙ එහෙම කරන්නෙ නෑ කියල.
ටීච ජනූට තරවටු කළේ අමාරුවෙන් හිනාව නවත්තගෙන.
සොරි.... මම ආයෙ එහෙම කරන්නෙ නෑ.........
ඊට පස්සෙ අර කොල්ලො දෙන්නටත් කිව්ව
මොකටද ඔයාල ගෑණු ළමයින්ට කරදර කරන්ඩ ගියේ.... ඔයාලගෙ පාඩුවෙ සෙල්ලම් කළා නම් ඉවරයි නෙ.... කියන්ඩ මෙයාටත් සොරි කියල... මම ආයෙ එහෙම කරන්නෙ නෑ කියල.
චොරි..... අපි ආයෙ ඒම කලන්නෙ නෑ....... ඌ..............
වැඩේ එතනින් ඉවර වුණා කියමුකො.....
හැබැයි තාමත් අවුරුද්දට ටිකිරි ටීචව බලන්ඩ ගියාම ඔය කතාව මතක් කරල ටීච ජනූට හිනා වෙනව....







 පින්තූරෙ නම් හොයාගත්තෙ http://www.mixtkids.com කියන අඩවියෙන්