Tuesday, September 4, 2012

ජනූ ද මැජික් ගර්ල් සහ මල්ලී ද ගල ගිලපු බෝයි..!!!




මෙන්න බලන්ඩ මං මේ ගල බෙල්ලෙන් දාල කටෙන් ගන්නව!!

කානේශයි,පියුමියි,  ජීවනියි, හිරානුයි, සුරංගයි තව සමීර මල්ලියි නිවාඩු දෙන දවසෙ කලින් ඉස්කෝලෙ ඇරිල අම්මලගෙ ඉස්කෝලෙට පයින් එන අතරෙ බිමට නැවිල ගලක් අහුල ගත්ත සුරංග එයාගෙ සුපුරුදු මැජික් සන්දර්ශනේ පටන් ගත්ත...

ඔන්න මං දැං මේ ගල  බෙල්ල පිටිපස්සෙන් උගුරට දානව

මෙහෙම කියල අත් දෙකම උස්සල බෙල්ල ලඟට අරගත්ත සුරංග ගල බෙල්ල පිටිපස්සෙන් උගුරට දැම්ම....
ඒක දාද්දි එයා වේදනාවෙන් ඇඹරුණා...

ඇත්ත නේන්නං ....! බෙල්ල හිල් කරගෙන ගලක් උගුරට යද්දි කාටද ඉවසං ඉන්ඩ පුලුවං??

ඊට පස්සෙ සුරංග අමාරුවෙන් වගේ දෙතුන් පාරක් එක අතක් නවල කට ලඟට අරන් දෙතුන් පාරක් කැස්ස හන්ද ගල උගුරට ආව කියල තේරුණාම ජනූලගෙ කටවලුත් ඇරුණ....
ඊට පස්සෙ සුරංග ඒ නැවිච්ච අතේ මහපටැඟිල්ල උඩු දත් ඇන්දෙ යට පැත්තෙන් තියල එක පාරටම පැන්නුවම අර බෙල්ලෙන් දාපු ගල කටින් විසිවුණා...!!

ජනූ ගෙ ඇස් අර ගලත් එක්කම අර්ධ කවාකාරව උඩ පහල ගියා!!!
මේක නං ජනූ කොහොම හරි අල්ලගන්ඩ ඕනෙ වැඩක්...
මොකද ඒ දවස්වල ජනූගෙ ප්‍රියතම විනෝදාංශය තමයි ඔය වගෙ ඇස්බැන්දුං මල්ලි බබාට පෙන්නල ඒව කරන විදිය කියල දෙන්නෙ නැතුව එයා අඬන කොට හිනා වෙන එක...
සුරංගගෙ මැජික් එකට හැමෝටම හරිම පුදුමයි!!

ආයෙ කරන්ඩකො!!!

පියුමි කිව්ව...
අපෝ බෑ මැජික් කරන්නෙ එක පාරයි...

සුරංග අගේ පෙන්නුව...

ඒ කොහොමද ඔයා ඒ ගල බෙල්ලෙන් ඇතුළට දැම්මෙ??

ම්හු!! ඒක රහසක් නෙ.. මැජික් කියන එව්ව එහෙම හැමෝටම කියල දෙන්නෙ නෑ... මමත් මේක ඉගෙන ගත්තෙ අපේ දසුන් අයියගෙන්  එයාට ජිල් බෝල දහයක් දීල!!

ඇයි එතකොට අත් දෙකම පස්සට අරගත්තෙ??

මොනව වුණත් ජනූට සැකයි මේ වැඩේ වෙච්ච විදිය නං

ඇයි අත් දෙකම ඕනෙනෙ... නැතුව කොහොමද හම ඇතුලෙන් ඒ ගල රිංගවල බෙල්ල ඇතුලට දාන්නෙ
අනේ.... අනේ අනේ  අනේ අනේ...!

මේ අතරෙ අනිත් අයගෙ සද්දෙ ටික ටික වැඩි වුණාම සුරංග ආයෙම පාරක් මැජික් බලෙන් බෙල්ලෙන් දාපු ගල කටින් අරන් පෙන්නන්ඩ කැමති වුණා!!
හැබැයි ඒ වතාවෙ විමසිල්ලෙන් හිටපු ජනූ දැක්ක සුරංග අත් දෙකම බෙල්ල පිටිපස්සට අරන් බෙල්ල ඇතුලට ගල රිංගවනව කියල කිව්වට ඇත්තටම කරන්නෙ අතේ වැලමිට ලඟ ඇතුල් පැත්තෙ ඒක හංගගන්න එක කියල....
ඊට පස්සෙ බොරුවට ඒ අත කට ලඟට අරන් දෙපාරක් බොරුවට කැහැල අර ඇඟිල්ල පන්නපුවාම වෙන්නෙ අර හංගපු ගල උඩින් විසි වෙලා යන එකනෙ..
ඒක විසිවෙන්නෙ කටෙන්ද කොහෙන්ද කියල ඉතිං එකපාරටම අඳුනගන්ඩ අමාරුයි නෙ කාට වුණත්!!

හරියට හරි!!! දෙන්නං වැඩේ ගෙදර ගිහින්!!

සද්ද නොකර මීය වගේ බලන් හිටපු ජනූ හිතුව

ඊලඟ දවසෙ ජනූල අම්මලගෙ ගමේ ගියා නෙ... ඉතිං මේ මැජික් එක ආයෙ ජනූට මතක් වුනේ ගමේ ගෙදර මිදුලෙ ජම්බු ගහ යට තිබුණු වැලි ගොඩේ මල්ලි බබා එක්ක සෙල්ලං කර කර ඉන්නකොට දැකපු රවුං ගල් කැටයක් දැක්කමයි

මල්ලි... මේ මං ඔයාට මැජික් එකක් පෙන්නන්ඩද??

හා!!!!

මල්ලි බබත් ඒවට නං පැනල එන්නෙ

ඔන්න  මං මේ ගල අරන් බෙල්ලෙන් දාල කට ඇතුලෙන් අරගන්ඩයි යන්නෙ..

ඈ.....??

මල්ලි බබාගෙ ඇස් ජිල් බෝල දෙකක් වගේ වුණා.. .කට ඇරුණ හරියට ජනූගෙ කිඹුල් පැටියගෙ කට වගේ!!
ඊට පස්සෙ වෙච්ච දේවල් ඉතිං අමුතුවෙං කියන්ඩ දෙයක් නෑ.

ජනූ බොහොම පරිස්සමෙන් දන්න ශිල්ප සේරම දාල, රඟපාල ගල් කැටේ බෙල්ලෙන් දැම්ම උගුරට
ඊට පස්සෙ දෙපාරක් කැස්ස...

ඊට පස්සෙ හොඳට හරිබරි ගැහිල එක පාරටම ඇඟිල්ල පැන්නුව දත් ඇන්දට තියල...

උගුරෙන් දැම්ම ගල් කැටේ කට ඇතුලෙන් විසිවෙනව දැක්ක මල්ලි බබා ජනූගෙ පස්සෙන් වැටුණ

ඒක කළේ කොහොමද අක්කෙ??

ආ.... එහෙම කියල දෙන්නෙ නෑ මැජික්!!

අනේ අක්කෙ

අපෝ බෑ....


අනේ!!!

බෑ කිව්වනෙ... කොච්චර කිව්වත් බෑ තමයි

මං අම්මට කියනව එහෙනං ඔයා  එදා නෙස්ටොමෝල්ට් හොරෙන් කෑව කියල..

ආ එහෙම කිව්වොත් ඉතිං කවදාවත්ම කියල දෙන්නෙ නෑ.. අනික මං විතරක් නෙවෙයි නෙ.. ඔයත් කෑවනෙ මීපැනි හොරෙන්...

ඔන්න ඔහොම ඒකෙන් මේකට මේකෙන් ඒකට කතාව මාරු වෙවී ගිහින් අන්තිමට මල්ලි බබා බෑඟිරි ගහ ගහ අඬන්ඩ ගත්ත!!
සද්දෙට ගමේ ආතත් ආව බුලත් කොරටුවෙ වැඩ දාල

ඇයි පුතේ මේ අඬන්නෙ??

අක්ක කියල දෙන්නෙ නෑ මට මැජී................ක්!!!!

මෙන්න මෙහෙ එන්ඩ යන්ඩ... එයාගෙ මැජික් තියාගන්ඩ කියන්ඩ එයාටම...
අන්න බුලත් කොරටුවට මීමින්නෙක් ඇවිල්ල... අපි යං එයාව බලන්ඩ..පොඩි ළමයව අඬවනව මෙතන
ගමේ ආත ජනූට  ඔරවල මල්ලිත් ඇදගෙන ගියා

හැන්දෑකරේ අම්ම ගෙයි ඉස්සරහ පඩියෙ ඉඳගෙන ජනූගෙ කොන්ඩෙ පීරන ගමන් මිදුල කෙලවරේ කරාඹු ගහ ගාව කැරකි කැරකි හොරගල් අහුලන මල්ලි බබා දිහා ඇහැ ගහගෙන උන්න...

අනේ!!! අම්මේ!!!!!!!!!!! ගිලුණා!!! ගිලුණා!!!

එක පාරටම මල්ලි බබාගෙ මහ සද්දෙට අම්ම නැගිටල දිව්ව එයා දිහාට...
කඳුලු පෙරි පෙරී ඔය ඉන්නෙ මල්ලි බබා කරාඹු ගහ යට....

කෝ මොනවද පුතේ ගිලුණෙ??

ගල් කැටේ!!!

හුටා!!! වැඩේ වැරදුණා ජනූට හිතුණ...

දැන් ඉතිං මං කාපං ගුටි!!!

ජනූට අංජනං දේවි පෙන්නුං කළේ ඊලඟ විනාඩි කීපය ඇතුලේ හොඳ රහට කෝටු පාරක් වදින බව තමයි

ඈ...... ගල් කැටයක් ඇයි කටේ දැම්මෙ....

මැජික් පෙන්නන්ඩ......ඇයි අක්ක බෙල්ලෙන් දාල කටෙන් ගත්තෙ ගලක්!!!
මාත් එහෙම කළා!!!

අම්ම ජනූ දිහා රවල බලපු බැලිල්ලට ජනූ ගෙ මූණ ඇද වුණා!!
හරියට වවුලො කාපු කජු පුහුලම වගේ

අද නං ඉතිං ජනූ ගුටි කනව සිකුරුයි!!!

මේ කලබලේ ඇහිල ආච්චි අම්මත් එළියට බැහැපි.. ආතත් ආපි
ආත මල්ලිව කරේ තියන් අඩියට දෙකට පඩිපළ බැහැල ගඟ ලඟට ගියේ ඔරුවට හූ කියන ගමන්මයි....කෙලින්ම ගියේ කරවනැල්ලෙ ඉස්පිරිතාලෙට....

මල්ලි බබා අඬනව දැක්කම, ඒක අහං ඉන්ඩ බැරි තරං විලාපයක් වුණාම නං ජනූට හිතුණෙ
අපරාදෙ මට ඒක මල්ලි බබාට පෙන්නන්ඩයි තිබුණෙ කියල...

හෙට උදේට කක්ක එක්ක පිට වුණොත් හරි.. නැත්තං ආයෙමත් බලන්ඩ වෙනව කිව්ව

නින්දට නැතුව හොරෙන් නිදි වගේ  හිටිය ජනූට අම්ම එහෙම ආච්චි අම්මට කියනව ඇහුණ...

මේ කෙල්ලගෙ වැඩ නෙ... මැජික් පෙන්නන්ඩ කියල මොකක් හරි සුකුරුත්තමක් කරන්ඩ ඇති... ඒක කරන්ඩ ගිහින් තමයි පොඩි එකා ගල කටේ දාගෙන තියෙන්නෙ...

පොඩි එකීට බනින්ඩ ගහන්ඩ එපා... පොඩි වයසෙ ඔහොම තමා!!

‍වෙච්ච සංගදිය දැනගෙන කොළඹ ඉඳන් ගමේ ගෙදර ආපු තාත්ත අම්මට කියනවත් ජනූට ඇහුණ

අනේ මගෙ මල්ලි බබාට මොනව හරි වුණොත්!!

ජනූගෙ ඇස්වලින් කලුවරේම කඳුලු බේරුණා

අනේ ඒ ගල කක්ක එක්ක එලියට එන්ඩ!!!

ජනූ දන්න ගාථා සේරම හිතෙන් මතුරල ප්‍රාර්ථනා කළා

ඊ ලඟ දවසෙ උදේ කක්ක බෙට්ටක් එක්ක එලියට ආපු ජිල්බෝලෙකටත් වැඩිය ලොකු ගල දැකල ගෙදර හැමෝම ප්‍රීති ඝෝෂා පැවැත්තුව

ඔයා මොකටද ගල ගිලින්ඩ ගියේ?? මං ඒ ගල ගිලිනව වගේ පෙන්නුවෙ බොරුවටනෙ.... ඒක මෙන්න මෙතන හංගගන ඊට පස්සෙ නොපෙනෙන්ඩ විසි කරන එකනෙ කරන්නෙ...

ජනූ  ඊට පස්සෙ හොරෙන්ම මල්ලිගෙන් ඇහුව

ඉතිං ඔයා මට කියල දුන්නෙ නෑ නෙ කලිං... මං හිතුවෙ ගල ගටේ දාගෙන තමයි එහෙම විසි කරන්නෙ කියල... අර ඔයා එහෙම බෙල්ලෙන් ගල උගුරට දාල  කැස්සෙ...
ආන්න ඒ වගේ මාත් ඒක කටේ දාල කහිනකොටම ඒක ගිලුණ!!!

මල්ලි කිව්ව

මොකද දෙන්න පුටු පුටු ගාන්නෙ....ඒ පාර මොකක්ද  බෙල්ලෙන් දාල කටිං ගන්ඩ හදන්නෙ??
හැබැයි මීට පස්සෙ නං එක එක එව්ව ගිලල අඬාගෙන එන්ඩ එපා රජෝ...
ඔහොම සුටුස් ගාල එළියට එන එකක් නං කමන්නෑ නැත්තං ඉතිං බඩ පලල තමයි අරගන්ඩ වෙන්නෙ එළියට...

තාත්ත දෙන්නගෙ පයුරුපාසානම දැකල මහ හයියෙන් හිනා වෙවී කිව්ව!!!
ජනූගෙ මැජික් සන්දර්ශනේ ඉවර වුණේ ඔන්න ඔහොමයි!!

අදත් ජනූගෙ පින්තූරෙ සඳහා අනුග්‍රහය මෙන්න මෙතනින්

19 comments:

  1. හෙහ් හෙහ්... මමත් ඔය මැජික් එක කොරල තියෙනෝ..

    ReplyDelete
  2. මාත් එක පාරක් කරලා තියෙනවා.

    ReplyDelete
  3. මමත් එකවතාවක් මැජික් එකකට අහු උනා.
    ඒ මගේ සත්තු සෙට් එකේ හිටපු හිපපොටේමස්ව එකෙක් ගිලලා උගුරේ තියාගෙන ආයෙම එලියට ගත්තු එක !!!

    ReplyDelete
  4. ජනුවො, උඹ මේක ආයෙම ලියන්න ගත්ත එක ලොකුම දෙයක්. මම කලින් කතාවත් බැලුවා. කමෙන්ට් කලා. ඒ මදිවට මේ බ්ලොග් එකේ ඔක්කොම පෝස්ට් කියවලා ඉන්නෙත්.මේකෙ තියෙන්නෙ ජනුගෙ සටහන් වලට වදා වෙනස් රිද්මයක්. මේකත් නියමයි.
    අනේ උඹ අර අහිංසක කොල්ලට දීල තියෙන වදයක්! පව් බං.
    ඔය ගල ගිලින එක උඹට මතක් වුනේ මම බල්බ් එක ගිලපු කතාව කියෙව්වම නේද?

    "අනේ ඒ ගල කක්ක එක්ක එලියට එන්ඩ!!! "

    මමත් ඉස්සර හිතෙන් කරන ප්‍රාර්තනා ඔය විදියමයි, ඔය ඩයලෙක්ට් එකමයි.

    "අනේ දෙයියනේ තාත්ත ඉක්මනට ගෙදර එවන්ඩ!"
    "අනේ මගෙ අම්මට අම්මට මොකුත් වෙන්ඩ එපා!"

    හුරුපුරුදු බවක් දැනෙනව නේද?

    ජනුවො, උඹ මේක ආයෙම ලියන්න ගත්ත එක ලොකුම දෙයක්. මම කලින් කතාවත් බැලුවා. කමෙන්ට් කලා. ඒ මදිවට මේ බ්ලොග් එකේ ඔක්කොම පෝස්ට් කියවලා ඉන්නෙත්.මේකෙ තියෙන්නෙ ජනුගෙ සටහන් වලට වදා වෙනස් රිද්මයක්. මේකත් නියමයි.
    අනේ උඹ අර අහිංසක කොල්ලට දීල තියෙන වදයක්! පව් බං.
    ඔය ගල ගිලින එක උඹට මතක් වුනේ මම බල්බ් එක ගිලපු කතාව කියෙව්වම නේද?

    "අනේ ඒ ගල කක්ක එක්ක එලියට එන්ඩ!!! "

    මමත් ඉස්සර හිතෙන් කරන ප්‍රාර්තනා ඔය විදියමයි, ඔය ඩයලෙක්ට් එකමයි.

    "අනේ දෙයියනේ තාත්ත ඉක්මනට ගෙදර එවන්ඩ!"
    "අනේ මගෙ අම්මට අම්මට මොකුත් වෙන්ඩ එපා!"

    හුරුපුරුදු බවක් දැනෙනව නේද?


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඔහොම ප්‍රාර්ථනා හැමෝගෙම ජීවිතවල තියෙනව.කිව්වට විස්වාස කරන්න,මට දැන් අවුරුදු දහසයක්..(එච්චර ලොකු නෑ තමයි..) ඒත් තවමත් මං ඔය වගේ දේවල් මගෙ අම්ම තාත්ත පුංචිඅම්ම වගෙ මගෙ ජීවිතේ ඉන්න ආදරණීයම අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනව.එයාල අසනීප වුණාම,ගෙදර එන්න පරක්කු වුණාම එහෙම.ඒ සමහර විට තාම මං තුළ ඉන්නෙ පුංචි දරුවෙක් නිසා වෙන්න ඇති.

      Delete
  5. අපිත් පොඩි කාලේ කරපු මැජික් එකක් තමා ඔය....! ඇයි අර පොල් කොලෙනුයි ගස්ලබු ගැටෙනුයි දිග කෙස් ගහකිනුයි හදලා නටවන නයා....? ඉස්සර අම්මගෙන් හොඳටම ගුටි කනවා අම්මා නිදාගෙන ඉන්නකොට හොරෙන් අම්මගෙ කෙස් ගස් ගලවන්න ගිහින්. ඇයි අර නහයෙන් හොටු අරගෙන්නවා වගේ කටෙන් සද්දයක් දාලා තව කෙනෙකුගේ ඇඟේ ගාන එක ? ඕක ඉස්කෝලේදි කරන්න ගිහිල්ලා එකෙක් ඇත්තටම හොටු අරන් ලොකු කොල්ලෙක්ගේ ඇඟේ ගාලා අපි සෙට් එකම උන්ගෙන් ගුටි කෑවා......!

    ReplyDelete
  6. ජනූට කියන්න මාත් පොඩි කාලෙ රැවටෙන තරමක් රැවටිලා තියෙන්නේ ඔය මැජික් හින්දා. (අපේ ගෙදර අය නෙමෙයි) අපේ බාප්පලා ඔය එක එක මඟුල් කරලා පෙන්නුවම මම ලොකු මිනිහා වගේ ගිහින් ඒවා කරලා පෙන්නනවා අල්ලපු ගෙදර මල්ලිටයි තව මගේ යාළුවෝ සෙට් එකටයි. එවුන් ගස් ගෙම්බෝ වගේ නැතිව ඒවා කරන්න ගිහින් අසූ හාර දාහක් ඇබැද්දි කරගන්නවා. හොඳ වෙලාවට ඉතින් අපේ අම්මා ගහන්නේ නැති හින්දා බැනුමකින් බේරෙනවා.
    පසුගිය දවසක ඇක්සිඩන්ට් එකකින් මල්ලියි බාප්පලයි මියගියා කිවුවම මතක් වුනේ මම ඒ අහින්සකයට කරපු ඔය වගේ ගේම් විතරමයි. මම හිතාගෙන හිටියේ ඉස්සර කවදාහරි අපි දෙන්න මැරෙන්නේ කටේ පොල් කෑලි හිර වෙලා කියලා.... ආයේ කවදාවත් හිනා වෙලා ඒ දේවල් මතක් කරන්නවත් පුළුවන්කමක් නෑ මට දැන්.

    ReplyDelete
  7. ෂෝක් අක්කා..... අ​නේ අනේ....

    ReplyDelete
  8. කතාවේ මාතෘකාවෙ ඉඳලම හොඳයි.. පුදුම රහයි..

    ReplyDelete
  9. පොඩි කාලේ මගේ මල්ලිගේ වැඩෙත් එක එක ඒවා ගිලිනවා, නැත්නම් උගුරේ හිර කර ගන්නවා. එක දවසක් අර ඉන්ජෙක්ෂන් වලට ගන්න පුංචි බෝතලයක් ගිල්ල. අපි හොඳටම බය වුනා. ඒත් අර වගේ

    "අනේ හෙට කක්කත් එක්ක බෝතලේ එන්න" කියල තමයි අපි ප්‍රර්ථනා කලේ. අන්තිමට කිසි කරදරයක් නැතුව ආව.

    ReplyDelete
  10. සා..... සෝක් කථාව......
    අපිත් ඔය මැජික් එක කලා පොඩිකාලෙ.....

    ReplyDelete
  11. හෙහ්, හෙහ්, ලස්සනයි බොලේ...උඹ පණ පිහිටුවල ලියල තියනව...

    මම පොඩි කාලෙ ලොකු නංගිට කරපු මැජික් එකක් කියන්ටද?

    ඔන්න රෑට බයියං කාල අපිට දෙනව කෙහෙල් ගෙඩිය ගෙඩිය කන්ට.. මගෙ එක මම කනව ඔන් ද ස්පොට්...අපෙ නංගිගෙ වැඩක් තියනව මොන දේ දීපං ඒක තියාගෙන ඉඳල පස්සෙං පහු තමයි කන්නෙ...

    '' මේ ලොක්කො..''

    මම එයාට කිට්ටු වෙනව...මම තාමත් එයාට කියන්නෙ ලොක්ක කියල...

    '' ඇයි?..''

    නංගි සැකෙන් මම දිහා බලන්නෙ..

    '' මැජික් එකක් පෙන්නන්නෙයි ඔයාට?...''

    '' මොකක්ද?...''

    නංගිට තාම සැකයි..ඒත් මැජික් එක බලාගන්ට ආසාවකුත් තියනව...

    '' දන්නවය හාමුදුරුවො සිවුර ගලවල තියල ළිඳට පැන්න විදිහ? "

    '' අනේ, මම දන්නෙ නෑනෙ...අයිය දන්නවද? ''

    '' ඉන්නකො මම කියල දෙන්නම්...දෙන්නකො ඔය කෙහෙල් ගෙඩිය මෙහාට, ''

    ලොක්කා කෙහෙල් ගෙඩිය දෙන්නෙ දෙතුං පාරක් අදි මදි කරල,

    '' ඔන්න මේ තමයි හාමුදුරුවො..''

    මම කහ පාට කෙහෙල් ගෙඩිය පෙන්නනව...

    '' ඔන්න හාමුදුරුවො සිවුරු ඇරිය...''

    මම ලෙල්ල ගැලෙව්ව.

    '' ඕන්න හාමුදුරුවො ළිඳට පැන්න...''

    ආයෙ මොනවද...මම කෑව කෙහෙල් ගෙඩිය.

    '' අම්මේ..මේ අයිය මගෙ කෙහෙල් ගෙඩිය කෑවා ආ.ආ.ආ...''

    ලොක්ක බෙරිහං දීගෙන දිව්ව කුස්සිය පැත්තට.

    ReplyDelete
  12. හෙහ්, හෙහ්, ලස්සනයි බොලේ...උඹ පණ පිහිටුවල ලියල තියනව...

    මම පොඩි කාලෙ ලොකු නංගිට කරපු මැජික් එකක් කියන්ටද?

    ඔන්න රෑට බයියං කාල අපිට දෙනව කෙහෙල් ගෙඩිය ගෙඩිය කන්ට.. මගෙ එක මම කනව ඔන් ද ස්පොට්...අපෙ නංගිගෙ වැඩක් තියනව මොන දේ දීපං ඒක තියාගෙන ඉඳල පස්සෙං පහු තමයි කන්නෙ...

    '' මේ ලොක්කො..''

    මම එයාට කිට්ටු වෙනව...මම තාමත් එයාට කියන්නෙ ලොක්ක කියල...

    '' ඇයි?..''

    නංගි සැකෙන් මම දිහා බලන්නෙ..

    '' මැජික් එකක් පෙන්නන්නෙයි ඔයාට?...''

    '' මොකක්ද?...''

    නංගිට තාම සැකයි..ඒත් මැජික් එක බලාගන්ට ආසාවකුත් තියනව...

    '' දන්නවය හාමුදුරුවො සිවුර ගලවල තියල ළිඳට පැන්න විදිහ? "

    '' අනේ, මම දන්නෙ නෑනෙ...අයිය දන්නවද? ''

    '' ඉන්නකො මම කියල දෙන්නම්...දෙන්නකො ඔය කෙහෙල් ගෙඩිය මෙහාට, ''

    ලොක්කා කෙහෙල් ගෙඩිය දෙන්නෙ දෙතුං පාරක් අදි මදි කරල,

    '' ඔන්න මේ තමයි හාමුදුරුවො..''

    මම කහ පාට කෙහෙල් ගෙඩිය පෙන්නනව...

    '' ඔන්න හාමුදුරුවො සිවුරු ඇරිය...''

    මම ලෙල්ල ගැලෙව්ව.

    '' ඕන්න හාමුදුරුවො ළිඳට පැන්න...''

    ආයෙ මොනවද...මම කෑව කෙහෙල් ගෙඩිය.

    '' අම්මේ..මේ අයිය මගෙ කෙහෙල් ගෙඩිය කෑවා ආ.ආ.ආ...''

    ලොක්ක බෙරිහං දීගෙන දිව්ව කුස්සිය පැත්තට.

    ReplyDelete
  13. හකිස්සිසියෝ. හිනා වෙලා බඩ නැතෝ.

    ReplyDelete
  14. මොකක්? ඈ ජනූ අක්ක මට හොරෙන් තව බ්ලොග් එකක් ලියනව. මේ පැත්තෙ ආවෙ දෙන්නම් කවුද මේ ජනූ අක්කගෙ නමින් බ්ලොග් ලියන කෙල්ල කියල බලන්න. කියවන් යද්දි තේරුණේ මේකත් ජනූ අක්කගෙම වැඩක් තමයි කියල.

    අනේ මමත් නංගිව අන්දනව ඔය වගේ පොඩි කාලෙ. දැන් මතක් වෙද්දි ඇස් වලට කඳුලුත් එනව. මම බය කරන හැටියට පොඩි එකා අඬනව.එතකොට මම අම්මලට ඇහෙන්නෙ නැති වෙන්න එයාගෙ කට මගෙ අතින් වහගෙන එයාව ඉඹල සනසනව....

    ReplyDelete
  15. හ්ම්ම්ම් අදමයි මේ පැත්තේ ගොඩ වැදුනේ ආයෙම එන්නම් කෝ..... තව තියෙනවා බලන්න නිවාඩු පාඩුවේ කියවන්න ඕනේ

    ReplyDelete
  16. හුග දවසකින් මුකුත් ලියැවිලා නෑ..

    ReplyDelete
  17. තොපිට කියනව නේද ඕව ගෙවල් වල කරන්න යන්න එපා කියල ?

    ReplyDelete