මේ සිද්ධිය වුණේ ජනූයි, කිරි අම්මයි, අම්මයි තුන්දෙනා පෝයට පන්සල් ගිහින්.
අම්ම ජනූට මොන්ටිසෝරි යන්නත් කලින්ම සිදුහත් කුමාරයගෙ කතාව කියල තියනව.
ඉතින් එයා දන්නව සිදුහත් කුමාරය බුදු සාදු වුණ හැටි, රාහුල කුමාරයව දාල කන්ථක අශ්වයගෙ පිටේ ගිය හැටි සේරම කතා ටික. බුදු සාදු ගැන ලස්සන කවිත් දන්නව
බුදු සාදු ඉපදුනා
කෙලෙස් නසා බුදු වුණා
පිරිනිවනට පත් වුණා
මේ වෙසක් දිනේ
හඳ මාමා හිනැහිලා
තරු සමගින් එක් වෙලා
පෝය දාට බුදු සාදුට
එලිය ගෙනෙනවා
චූටි චූටි වට්ටිවලට
පාට පාට මල් අරගෙන
හඳ එලියේ නැහැවි නැහැවි
පන්සල් යනවා
මේ කවි, කතා අහල ජනූ ට ඕනෙ වුණා...ඇත්තටම බුදු සාදු බලන්න.... අම්ම නම් කිව්වෙ ආයෙමත් ඇත්තටම බුදු සාදුව බලන්න ගොඩාක් කල් ඉන්න ඕනෙ කියලයි. එතකල් අපිට බුදුසාදු ව දකින්න හම්බවෙන්නෙ පිළිමවලින් විතරයි ලු.
ඒ වුණාට ජනූට නම් හොඳටම විස්වාසයි පෝය දවසට පන්සලේදි බුදු සාදුව පණ පිටින්ම දැකල කියෙන බව. මේ අම්ම නෙ කිව්වට පිළිගන්නෙම නැත්තෙ...
ඔන්න ඉතිං එදා පෝය දවසෙත් වෙනද වගේම සිල් ගත්තු කිරි අම්ම සිල් පවාරණය කරන කිට්ටුව එයාව එක්ක එන්නයි , පන්සල් යන්නයි දෙකටම තමයි ජනුයි, අම්මයි පන්සලට ගියේ.
පන්සලට ගොඩ වෙච්ච වෙලේ ඉඳලම ජනූ නම් හරිම විමසිල්ලෙන් හිටියෙ....
ඔන්න තුන් දෙනා ගිහින් පන්සලේ මල් පහන් පූජා කරල , බෝ මලුවෙ ඉඳගෙන ගාතා කියල පින් අනුමෝදන් කරල එනකොට මෙන්න බොලේ බුදු සාදු වැඩ ඉන්නව... කහ පාට සිවුරක් පොරවගෙන.... යන එන සැදැහැවතුන් දිහා බලාගෙන....
අම්මෙ .......අම්මේ අන්න අන්න බුදු සාදු ඉන්නව අර අරඅඅඅඅඅඅ......
අම්මගෙ අතේ එල්ලි එල්ලි ඒ දිහාවට අත දික් කර කර ජනූ කෑගැහුවෙ පුදුම සන්තෝසෙන්
දැක්කද අම්මෙ බුදුසාදු ඉන්නව... අම්ම බොරු නෙ කිවුවෙ.....
ආයෙ නෑ පන්සලේ ගණ්ටා කුලුණ පරාදයි සද්දෙ ටික නං අපරාදෙ කියන්ඩ බෑ ඒ කාලෙත්.....
අම්ම බොහොම අසාර්ථක උත්සාහයක නිරත වුණා අතින් ජනූ ගෙ කට වහන්න.
මොකක්ද බබෝ.... අම්ම කියපු බොරුව.... ?
මෙන්න ඒ පාර බුදු සාදු ජනූගෙ ළඟටම වැඩම කරල
වඳින්න වඳින්න
ජනූ බුදුසාදුට වැන්ද බිම පෙරළිලා දණ ගහලම
ඉතිං ඉතිං බබෝ.... මොකක්ද අම්ම කියපු බොරුව ආ.....?
වැඳල නැගිට්ටම බුදු සාදු ආයෙත් ඇහුව ජනූගෙන්
අම්ම කිව්ව බුදු සාදු නෑ කියල...
ඉතිං.....?
ඉතිං බුදු සාදු ඔය ඉන්නෙ.....?
කෝ.....?
ඇයි ඔය සාදු බුදු සාදු නෙ....
ඒ පාර බුදු සාදුට හිනාවක් ගියා....
මම බුදු සාදු නෙවෙයි බබෝ... මම වෙන සාදු කෙනෙක්....
ජනූට නම් තාමත් ඒක විස්වාස නැති හැඩක් තමයි මූණෙ ඇඳුන අවිනිශ්චිත බැල්මන් සාදුට තේරුණේ
බුදු සාදු පිරිනිවන් වැඩියනෙ බබෝ....
ඒ කියන්නෙ මොකක්ද?
බුදු සාදු මැරුණනෙ.....
ජනූ පොඩි කල්පනාවක
එතකොට..... රාහුල කුමාරයට තාත්තෙක් නැත්ද?
ඔන්න සාදුටත් කට උත්තර නැති වුණා ....
නෑ නෙ..... රාහුල කුමාරයත් ඊට පස්සෙ අපි වගේ මහණ වුණා නෙ.. අම්මගෙන් අහගන්ඩකො බබා ඒ කතාව
ටික වෙලාවකට පස්සෙ සාදු මෙහෙම කියල එ තනින් හෙමිහිට ඉවතට වැඩිය මද සිනා මුවින්
ගෙදර එනකල් ඇවිත් රෑට නින්ද යනකල්.... සති දෙක තුනක් ගිහින් අමතක වෙලා යනකල්ම එයා සිදුහත් කතාවෙ එයාට නොතේරෙන තැන් ගැන අම්මගෙන් ප්‍රශ්න ඇහුව.
ජනූ සැහෙන්න ලොකු කාලෙ එයාගෙ තාත්ත නැති දුක දැනෙන්න වුණාමත් එයා හිත හදා ගන්න උත්සාහකළා සිදුහත් කතාවෙ රාහුල කුමාරයට තාත්ත ජීවත්ව ඉන්න කොටත් තාත්තෙක් නැති වුණාම මොන තරම් දුකක් හිතෙන්න ඇතිද කියල....